ආයෝජකයින් අමන්දානන්දයට පත්කරමින් කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන ඉහළ යාමක්

    March, 24, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් අද (24) වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 706.26ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගත් අතර S&P SL20 දර්ශකය ඒකක 222.41ක වර්ධනයක් වාර්තා කරන ලදී.

    මෙය පෙර දිනයට සාපේක්ෂව පිළිවෙලින් 3.47%ක හා 3.91%ක වර්ධනයන් වේ.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,071.23ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 5,909.23ක් ලෙසත් සටහන් වුණි.

    කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තාවලට අද දින සමාගම් 228ක මිල ගණන ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර මිල පහළ යාම් වාර්තා වී තිබුණේ සමාගම් 11ක පමණි.

    රු. බිලියන 4.21ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 4.16 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.55ක් ලෙසින් වාර්තා වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 47ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 661ක් ලෙසින් සටහන් වුණි.