September, 5, 2016
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන හට තවදුරටත් එම ධූරයේ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව මුදල් මණ්ඩලය විසින් දැනුම් දී තිබේ. පසුගිය සිකුරාදා (02) මුදල් මණ්ඩලය විසින් නීතිපතිගේ උපදෙස් විමසීමෙන් අනතුරුව මෙම දැනුම්දීම ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා වෙත සිදුකර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2016 මාර්තු 24 වන දින ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන හට තවදුරටත් එම ධූරයේ රැඳී සිටිය නොහැකි බව දන්වන ලදී. ඒ ලංකාපුත්‍ර සභාපතිවරයා සම්බන්ධයෙන් පැවති ‘fit and proper’ පරීක්ෂණයෙන් ඔහු අසමත් වීම නිසාය. ඒ ඔහු විසින් බැංකු පනත ප්‍රකාරව ආයතනික යහපාලනික හා රහස්‍ය රෙගුලාසීන් උල්ලංගණය කිරීම හේතුවෙනි.
කෙසේ වෙතත් 2016 මාර්තු 24 දින මුදල් මණ්ඩලය විසින් සිදුකළ මෙම දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම් ගාමිණී පිටිපන විසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත 2016 මැයි 11 වන දින දන්වා යවා ඇත්තේ මුදල් මණ්ඩලයේ අදාළ තීරණය හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් අවලංගු (recalled) කළ බවයි. කෙසේ වෙතත් පසුගිය දා (30) පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේ දී, මාධ්‍යවේදියකු විසින් මහබැංකු අධිපතිවරයාගෙන් විමසා සිටියේ, මුදල් මණ්ඩලයේ තීරණයක් මහ බැංකු අධිපතිවරයාට තනිව අවලංගු කිරීමේ බලයක් තිබේද යන්න පිළිබඳවයි.
මේ පිළිබඳව මුදල් මණ්ඩලය විසින් නීතිපතිවරයාගෙන් කරුණු විමසූ පසු බැංකු පනතේ 42 (7) පරිච්ඡේදයට අනුව තවදුරටත් ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලසන්ත ගුණවර්ධන හට එම තනතුර දරන්නට හැකියාවක් නැති බව තහවුරු කර ඇත.