March, 31, 2026
කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම විදහා දක්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කර ගෙන ඓතිහාසික ද සොයිසා කාන්තා රෝහලේ 03 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම බැංකුව විසින් ආරම්භ කර ඇත.
කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය හරහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා හා රෝහල් කළමනාකාරීත්වය අතර පොරොන්දු ලිපි ලේඛන හුවමාරු කර ගනිමින්, රෝහලේ පැවති සංකේතාත්මක උත්සවයකදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. රෝහල නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සහ එම වාට්ටුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල කළුආරච්චි යන මහත්වරුන් සහභාගී වූහ.
බැංකුවෙන් දියත් කළ කාන්තා මාසයට අදාල මුලපිරීම් වලට සමගාමීව ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය හරහා මාතෘ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සහ මව්වරුන්ගේ සහ ළදරුවන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම වෙනුවෙන් බැංකුවේ කැපවීම තවදුරටත් අවධාරණය කරයි.
1879 දී ආරම්භ කරන ලද ද සොයිසා කාන්තා රෝහල ශ්‍රී ලංකාවේ පළමු මාතෘ රෝහල මෙන්ම ආසියාවේ දෙවන පැරණිතම මාතෘ රෝහල ද වේ. චාල්ස් හෙන්රි ද සොයිසාගේ පරිත්‍යාගශීලීත්වයෙන් ආරම්භ වූ මෙම ආයතනය, සියවස් එකහමාරකට ආසන්න කාලයක් පුරාවට මෙරට මාතෘ හා කාන්තා සෞඛ්‍ය දියුණු කිරීම උදෙසා පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර ඇත. අද වන විට රෝහල වාර්ෂිකව දරු උපත් 6,000 ත් 8,000 ත් අතර සංඛ්‍යාවක් වාර්තා කරන අතර, සෑම වසරකම රෝගීන් 25,000 ක් පමණ රෝහලට ඇතුලත් කර ගනී.
බැංකුවේ මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ අවධානයට ලක් වූ 03 වන වාට්ටුව මගින් සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවකට සේවය සපයන අතර, වාර්ෂිකව දළ වශයෙන් දරු උපත් 2,500 සිට 3,000 දක්වා සහ රෝගීන් ඇතුලත් කර ගැනීම් 4,000 සිට 5,000 දක්වා ප්‍රමාණයක් වාර්තා කරයි. සැලසුම් කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් රෝගී සත්කාර, රෝගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරයි. තවද එමගින් මව්වරුන්ට හා අලුත උපන් බිළිඳුන් දහස් ගණනකට සෘජුව ම ප්‍රතිලාභ ලබා දෙන අතරම සමස්තයක් ලෙස මාතෘ සෞඛ්‍ය ප්‍රමිතීන් සියල්ල වැඩිදියුණු කිරීමට ද දායක වනු ඇත.
මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබන කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාර භාරය, තිරසර වූ යහපත් බලපෑමක් ඇති කළ හැකි ආකාරයේ ප්‍රජා ව්‍යාපෘති දියත් කිරීමේදී බැංකුවේ ප්‍රධාන හස්තය ලෙස ක්‍රියාකරයි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පරිසර සංරක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය අතුළු පැහැදිලිව අර්ථ දක්වා ඇති අරමුණු මගින් මෙම අරමුදල මෙහෙයවනු ලබයි. එහි සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කරමින් අනෙකුත් සියලු අංශ හරහා විවිධ ව්‍යාපෘති දියත් කරයි.
මෙම අරමුදල හරහා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය තුළ රෝහල් 100 කට වැඩි ගණනකට අත්‍යවශ්‍ය උපකරණ සහ යටිතල පහසුකම් වලින් සහයෝගය ලබා දී ඇති අතර රජයේ ගිලන් රථ සේවයට උපකාරි වෙමින් හදිසි වෛද්‍ය සේවාවන් සඳහා ද දායක වී ඇත. තවද වකුගඩු රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ පවුල් සඳහා ජල ගබඩා විසඳුම් ලබා දීම වැනි ඉලක්කගත ප්‍රජා සෞඛ්‍ය ව්‍යාපෘති ද ක්‍රියාත්මක කර තිබේ.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
සේයාරු සටහන: කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා හා ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ආයතන දෙකෙහි නියෝජිතයින් ඉදිරියේ ව්‍යාපෘති ගිවිසුම හුවමාරු කර ගැනීම.
Video Story