ජෝන් කීල්ස් පදනමේ 21 වැනි සංවත්සරය වෙනුවෙන් නිල වෙබ් අඩවිය වැඩිදියුණු කර නව ජංගම යෙදුමක්ද  එළිදක්වයි

    April, 3, 2026

    ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම ආරම්භ වී 2026 මාර්තු 28 දිනට වසර 21 ක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් එහි නිල වෙබ් අඩවිය අලුතින් සැලසුම් කර දියත් කරන ලද අතර, ඉදිරියේදී නවතම Volunteer ජංගම යෙදුමක් (Volunteer App) හඳුන්වා දීමටද නියමිතය.

    වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය සංකේතීයව දියත් කරන ලද්දේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසිනි. එම අවස්ථාව ජෝන් කීල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී, ජෝන් කීල්ස් පදනමේ ව්‍යාපෘති ප්‍රධානීන්, විවිධ අංශවල ප්‍රජා සත්කාර සම්බන්ධීකාරකවරුන්/වරියන්, පදනමේ කාර්ය මණ්ඩලය සහ Centre Functions සාමාජික ඇතුළු සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි මෙම වෙබ් අඩවිය වැඩිදියුණු කර ඇති බවයි. එමෙන්ම එමඟින් දැන් ජෝන් කීල්ස් පදනමේ ප්‍රතිලාභීන් සහ එහි හවුල්කරුවන් පිළිබඳ තොරතුරු සහ පදනම මඟින් ඉටුවන මෙහෙවර වඩාත් පැහැදිලිව සන්නිවේදනය කෙරේ.

    ජෝන් කීල්ස් පදනමේ නව Volunteer යෙදුම, සමූහයේ 15,000 කට අධික කාර්ය මණ්ඩලය ජෝන් කීල්ස් පදනමේ ස්වේච්ඡා මෙහෙවර සඳහා වැඩි වැඩියෙන් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හරහා සම්බන්ධීකරණය සිදුකිරීම, ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ ස්වේච්ඡා ක්‍රියාකාරකම් වාර්තා කිරීම පහසු වනු ඇති අතර, දත්ත එක්රැස් කිරීම ඇතුළුව සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට හැකි වනු ඇතැයි ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.

    2005 වසරේදී ආරම්භ වූ ජෝන් කීල්ස් පදනම මේ වන විට මෙරට ආයතනික ප්‍රජා සත්කාර සම්බන්ධ ප්‍රමුඛතම මුලපිරීමක් ලෙස සැලකේ. එය විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් රටේ සමාජ සංවර්ධනය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී. 2016 වසරේ සිට එහි නිල වෙබ් අඩවිය ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයට කේන්ද්‍රීය දායකත්වයක් ලබා දී තිබේ. එය පදනමේ පාර්ශ්වකරුවන්, රැකියා සොයන්නන් සහ පර්යේක්ෂකයන් සඳහා තොරතුරු ලබාදෙන මූලාශ්‍රය විය.

    නව Volunteer යෙදුම බිහි වී ඇත්තේ ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගය තුළිනි. ස්වේච්ඡා ක්‍රියාකාරකම් පිළිබඳ සියලු තොරතුරු එක්රැස් කිරීම, දැනුම් දීම සහ යාවත්කාලීන කිරීම තුළින් මෙය ස්වේච්ඡා මෙහෙවරේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි. මේ වන විට පරීක්ෂණ අවධියේ පවතින එය අප්‍රේල් මාසයේදී නිල වශයෙන් දියත් වීමට නියමිතය.

    ජෝන් කීල්ස් පදනමේ ආයතනික ප්‍රජා සත්කාර අංශ ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ ජෝන් කීල්ස් පදනම සෑම විටම ජනතාවගේ යහපත, දීර්ඝකාලීන අරමුණු, සහයෝගීත්වය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කළ බවයි. 2024 වසරේදී තම අවධානය යොමු වන අංශ හය සිට හතර දක්වා

    විදිමත් කරමින්, සමූහයේ ESG ප්‍රමුඛතාවන්ට අනුව වැඩි බලපෑමක් සිදු කළ හැකි ආකාරයට තම මෙහෙවර ශක්තිමත් කිරීමට එම පදනම පියවර ගත්තේය.

    නව මූල්‍ය වර්ෂය ආරම්භයේදී හඳුන්වා දීමට සැලසුම් කර ඇති නව Volunteer යෙදුමට වෙනම බ්ලොග් අඩවියක්ද ඇතුළත් කර තිබේ. මෙමඟින් ස්වේච්ඡා මෙහෙවර මඟින් ඉටු වන කාර්යභාරය වඩාත් හොඳින් සමූහයේ සාමාජික සාමාජිකාවන් වෙත සන්නිවේදනය කරමින්, පෙරටත් වඩා වැඩි පිරිසක් එම මෙහෙවර වෙත යොමු කිරීමට හැකි වනු ඇතැයි කාමලීන් ජයසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසීය. 

    ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට”  යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.

    www.johnkeellsfoundation.com ඔස්සේ ජෝන් කීල්ස් පදනමේ නිල වෙබ් අඩවියට පිවිසිය හැකි වේ.