ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය පාලනයට වැඩපිළිවෙලක්

    September, 7, 2016

    ඇස්බැස්ටෝස් මඟින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව වෙනත් ලාභදායී ආදේශක වෙත යොමු වෙමින් ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය 2018 01 01 දින සිට සීමා කිරීමටත්, 2024 01 01 දින වන විට රට තුළ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකස් කිරීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සෙවිලි තහඩු, පොළොවේ අතුරන ටයිල් වර්ග, සිමෙන්ති පයිප්ප, වාහනවල බ්‍රේක් පෑඩ්ස්, කඩදාසි, ලණු ආදී නිෂ්පාදන රාශියක් සඳහා ඇස්බැස්ටෝස් ඛනිජය භාවිත කෙරේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් (WHO) පිළිකා කාරකයන් ලෙස හඳුනාගනු ලැබූ නිල් ඇස්බැස්ටෝස් (Crocidolite) ශ්‍රී ලංකාවට ආනයනය කිරීම 1987 වසරේ සිට තහනම් කරනු ලැබ ඇති අතර, වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කෙරෙන සුදු ඇස්බැස්ටෝස් (Chrysotile) ඇතුළු සියලුම වර්ගයේ ඇස්බැස්ටෝස් පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගනු ලැබ ඇත. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සුදු ඇස්බැස්ටෝස්වලින් 80%ක් පමණ වහලවල් සඳහා වන සෙවිලි තහඩු නිෂ්පාදනය සඳහා යොදා ගැනේ.