ශ්‍රීලංකන් ගුවන් සමාගම නවීන මාදිලියෙන් යුත් ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මධ්‍යස්ථානය විවෘත කරයි

    September, 8, 2016

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පැය 24 පුරා ක්‍රියාත්මක නවීන පහසුකම් සහ සේවාවලින් සමන්විත නව ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මධ්‍යස්ථානය ඊයේ දින (07) විවෘත කරන ලදී. ඒ අනුව ලොව පුරා විහිදී සිටින සියලු පාරිභෝගිකයන්ට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් නිරන්තර පියාසර වැඩසටහනේ සාමාජිකයින්ට ලබාදෙන පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා සඳහන් කළේ
    පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමුකරමින් ව්‍යාපාරික කටයුතු ව්‍යාප්ත කිරීමේ සහ ලාභ ඉපයීමේ ප්‍රයන්තය වෙනුවෙන් මෙය ආරම්භ කළ බවයි. එසේම මෙම නවතම ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය , ගුවන් මගීන් බොහෝ දෙනෙකු සබඳතා පවත්වන ප්‍රධානතම ස්ථානය විය හැකි බව ද ඒ මහතා කියා සිටියේය. මෙමගින් සුවපහසුකම් වැඩිවී පාරිභෝගිකයන් තෘප්තිමත් කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    මෙම නව මධ්‍යස්ථානය මගින් ගුවන් සමාගමේ සියලුම මගී මෙහෙයුම් සඳහා සේවා සපයනු ලැබේ. ගුවන් සේවයේ ප්‍රධාන දුරකථන අංකය 1979 වන අතර ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථනයකින් ඒ හා සම්බන්ධ වීමේ පහසුකම පවතී.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ සිය සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළ බවත් ඒ අනුව විශේෂිත නව වෙබ් අඩවිය , නවීන දුරකතන යෙදවුම (mobile app) සහ ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ගුවන් ප්‍රවේශපත්‍ර කාර්යාල මගින් පාරිභෝගිකයන්ට ඉතා සමීප සේවාවන් ලබා දීමට හැකියාව ලැබී ඇති බවයි. මෙම ජාත්‍යන්තර ඇමතුම් මධ්‍යස්ථානය තුළදී ගුවනේ දී සහ බිම් මට්ටමේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය වශයෙන් ලබාදෙන කීර්තිමත් සේවා සහ ප්‍රමිතීන් ඒ ආකාරයෙන්ම ලබා දීමට සැලසුම් කර ඇති බද හෙතෙම පැවසීය. තවද පාරිභෝගිකයන්ට ගුවන් ප්‍රවේශපත්‍ර කාර්යාල වල මෙන්ම ගුවන් තොටුපල සේවා සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සේවාවට සමාන සේවාවක් මෙමගින් ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම මධ්‍යස්ථානයේ පාරිභෝගික සේවා සඳහා පැය 24 පුරා දිනපතා ක්‍රියාත්මක ඇමතුම් සහ ඊ මේල් හැසිරවීමේ පහසුකම මෙන්ම පාරිභෝගික සේවා රැසක් සැපයීමට කටයුතු සලසා තිබේ. ස්කයිප් (Skype) පහසුකම, තොරාගන්නා ලද ගමනාන්ත වෙත සෘජුව ඇමතීමේ හැකියාව, ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන් සඳහා විශේෂිත සේවා සැපයීම සහ ස්වයංක්‍රීයව ෆ්ලයිස්මයිල්ස් සැතපුම් (Miles) ශේෂය පිළිබඳ නිවේදන ලබාදීම , ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ගේ අවසන් වරට සිදුකළ ගනුදෙනු සහ කල් ඉකුත්වීම් දැනුම්දීම, නවීන ‘Genesys’ සම්බන්ධතා මධ්‍යස්ථාන පද්ධතිය ඔස්සේ වැඩිදියුණු දත්ත අධීක්ෂණය හා වාර්තා සම්පාදනය,සමාජ ජාලා මාධ්‍ය අධීක්ෂණය මෙන්ම මාර්ගගත (online) පණිවිඩ හුවමාරු කිරීමේ (chat) සේවය ලබාගත හැක.

    මෙම මධ්‍යස්ථානය දත්ත ආරක්ෂාව හා සම්බන්ධතා මෙහෙයුම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති අතර ඉදිරියේදී ISO 27001 තොරතුරු ආරක්ෂණ ප්‍රමිති සහතිකය, PCI -DSS v3.2 ඇමතුම් මධ්‍යස්ථ පද්ධතිය සහ වටපිටාව, ඇමතුම් මධ්‍යස්ථ ක්‍රියාවලි සඳහා වන ක්ෂේත්‍ර සහතිකය (සේවා හැකියාව හා කාර්ය සාධන සහතිකය ) ලබාගැනීමටද නියමිතයි. එසේම මීට සියලු ගණුදෙනු සඳහා වන අක්‍රමිකතා කළමනාකරණය මෙන්ම සම්පූර්ණ ආපදා ප්‍රතිසාධන අඩවියක් ද ඇතුළත් වේ.

    මෙය කොළඹ 3. අයිස්ලන්ඩ් ව්‍යාපාරික මධ්‍යස්ථානය පරිශ්‍රයේ පිහිටා ඇති අතර මෙහි සේවා කටයුතු SCICOM ලංකා පුද්ගලික සමාගම විසින් ලබා දෙනු ඇත.

    ශ්‍රීලංකන් සෘජු ගුවන් ගමනාන්ත සඳහා පහත සඳහන් සෘජු දුරකතන අංක භාවිත කරමින් සම්බන්ධ විය හැක.

    ශ්‍රීලංකන් ගුවන් සේවය දැන් ලොව පුරා විහිදී ඇති වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජික රටවල් 48 ක ගමනාන්ත 100 ක් සඳහා ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි.