September, 8, 2016
කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි හිමිකාරීත්වයේ වෙනසක් පසුගිය දා සිදුවිය. මෙම වෙනස්වීමත් සමඟම සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙහි වෙනස්කමක් සිදුකිරීමට නව හිමිකරුවන් පියවර ගෙන තිබේ.
කලමාසු සිස්ටම්ස් පීඑල්සී යනු ඉතා අඩු කොටස් ද්‍රවශීලතාවයක් තිබෙන සමාගමකි. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 50,000 කි. මින් කොටස් 34,985 ක අයිතිය ඇත්තේ රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවය. එබැවින් ගනුදෙනු සඳහා ද්විතීයික වෙළෙඳපොළ වෙත නිරාවරණය වී ඇති කොටස් ප්‍රමාණය 15,000 ක් පමණ වේ.
මෙම තත්ත්වය තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිමිකම් නිකුතුවක් (Right Issue) සිදුකිරීමට පසුගියදා තීරණය කරනු ලැබීය. මෙහිදී දැනට තිබෙන සෑම එක් කොටසකටම කොටස් 60 ක් හිමි වන පරිද්දෙන් මෙම හිමිකම් නිකුතුව නිවේදනය කර ඇත. එහිදී එක් කොටසක් සඳහා ගෙවිය යුතු වටිනාකම වනුයේ රු. 520.00 කි.
මෙම හිමිකම් නිකුතුවෙන් පසු සමාගමේ කොටස් ප්‍රමාණය 3,050,000 ක් දක්වා ඉහළ යනු ඇත.
මීළඟට සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය වනුයේ හිමිකම් නිකුතුවෙන් පසු පවතින කොටස් සඳහා කොටස් අනුබෙදුමක් (Sub-Division) සිදුකිරීමයි. එහිදී එක් කොටසක්, කොටස් 100 ක් බවට පරිවර්තනය වීමට නියමිතය.
මේ අනුව හිමිකම් නිකුතුව සහ කොටස් අනුබෙදුම අවසානයේ දී සමාගමේ සමස්ත කොටස් සංඛ්‍යාව 305,000,000 ක් බවට පරිවර්තනය වනු ඇත. මෙම තත්ත්වය තුළ දී සමාගමේ කොටස්, ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සඳහා වඩාත් ද්‍රවශීලත්වයක් ලබා දෙනු ඇත.