April, 21, 2026
සෙලාන් බැංකුව විසින්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා දින තුනෙන් ණය තීරණ සැපයීමේ සේවාවක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය පහසුකම් සඳහා, අවශ්‍ය ලිපිලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩ කරන දින තුනක් ඇතුළත ණය ලබාදීමේ තීරණය ලබා ගත හැකි වනු ඇත. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට බහුලව වශයෙන් මුහුණ දීමට සිදුවන අභියෝගයක් වන, ණය අයදුම්පත් සඳහා ලැබෙන තීරණය වෙනුවෙන් දීර්ඝ කාලයක් ගතවීමේ ගැටළුවට විසඳුමක් සැපයීම මෙහි අරමුණයි.
බොහොමයක් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විශේෂයෙන්ම හදිසියේම ප්‍රාග්ධනය අවශ්‍ය වන මොහොතකදී, ණය ලබාදීමේ ක්‍රියාවලියේ සිදුවන ප්‍රමාදයන් ව්‍යාපාර සැලසුම් වලටද බාධා පමුණුවනු ඇත. මෙම ව්‍යාපාරයන්ට බොහෝ විට මූල්‍ය ආයතනවලින් ප්‍රතිචාරයක් ලබා ගැනීමට සති කිහිපයක් රැඳී සිටීමට සිදු වන අතර, ඒ හේතුවෙන් මෙහෙයුම් වියදම් කළමනාකරණය කර ගැනීම හෝ නව ව්‍යාපාරික අවස්ථාවන් අත්පත් කර ගැනීම අපහසු වනු ඇත. මෙම අභියෝගය හඳුනා ගන්නා සෙලාන් බැංකුව, ණය අනුමත කිරීම් සම්බන්ධයෙන් වඩාත් වේගවත් බවක්, සුපැහැදිලිතාවයක් ලබාදීමට සහ මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා මෙම 'දින තුනෙන් ණය තීරණ ලබාදීමේ' පහසුකම හඳුන්වා දී තිබේ.
මෙම දින තුනෙන් ණය තීරණ ලබාදීම, රුපියල් මිලියන 25ට අඩු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා අදාළ වන අතර, 'අත හිත' , 'දිනන ඇය' ණය සහ සෙලාන් බැංකුවට විශේෂිත ක්‍රියාකාරී ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රම වැනි ණය පහසුකම් එයින් ආවරණය කෙරෙනු ඇත. අභ්‍යන්තර ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ තක්සේරු යාන්ත්‍රණයන් සවිබල ගැන්වීම තුළින්, බැංකුව විසින් ණය අයදුම්පත් සමාලෝචනය කර, ණය ලබාදීමට සුදුසු වන්නේද යන්න පිළිබඳ මූලික තීරණය, වැඩ කරන දින තුනක් ඇතුළත ලබාදෙයි.
එසේම සෙලාන් බැංකුව, ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමගින් ඒකාබද්ධ වෙමින්, ණය සඳහා ප්‍රමාණවත් ඇපකරයක් ලබාදීමට හැකියාව නොමැති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර (MSME) වෙතට මූල්‍ය ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කරන ලද ජාතික ණය සුරැකුම් ආයතනය (NCGIL) වෙතද සිය සහාය ලබාදේ. මෙම වැඩසටහන හරහා, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්ට, රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25 දක්වා පරාසයක වන ණය ලබා ගත හැකි අතර, ජාතික ණය සුරැකුම් ආයතනය විසින් අදාළ ණය මුදලින් 67% දක්වා ආවරණය වන ඇපකරයක් සපයා සිටී. ඒ ඔස්සේ එම ව්‍යාපාරයන්ගේ වත්කම් ඔස්සේ ලැබෙන සහතිකයට වඩා, ඒවායේ මූල්‍ය ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහය මත පදනම්ව එම ව්‍යාපාර ඇගැයීමට බැංකුවලට ඉඩ සැලසෙනු ඇත.
මෙම වැඩසටහන මගින් 'ලිය ශක්ති' ඇපකර යෝජනා ක්‍රමයද හඳුන්වා දෙන අතර, එය කාන්තාවන්ගේ හිමිකාරිත්වයෙන් යුතු වන, නැතහොත් කාන්තාවන් විසින් නායකත්වය ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන් සඳහා රුපියල් 500,000 සිට රුපියල් මිලියන 25 දක්වා පරාසයක වන ණය ලබා ගත හැකි, 80% දක්වා වන ඇපකර ආවරණයක් ලබාදේ. නිෂ්පාදනය, සංචාරය, කෘෂිකර්මය, තොරතුරු තාක්ෂණය සහ අපනයනය වැනි ප්‍රමුඛ අංශවල ව්‍යවසායකයන් සහ ව්‍යවසායිකාවන් සඳහා ණය ප්‍රවේශය පුළුල් කිරීමෙන්, සියලු දෙනා ඇතුළත් වන ආර්ථික වර්ධනයකට සහය දීමටත්, එසේම ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීමටත් සෙලාන් බැංකුව අපේක්ෂා කර සිටී.
මෙම වැඩසටහන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ශක්තිමත් කිරීමට සහ රට පුරාම සියලු දෙනා ඇතුළත් වන මූල්‍යකරණය පුළුල් කිරීම සඳහා වන ජාතික උත්සාහයන් සමඟ සමපාත වේ. දිවයින පුරා විහිදුණු ශාඛා 173ක් සහිත ශක්තිමත් ව්‍යාප්තියක්ද සමඟ, සෙලාන් බැංකුව විසින් කාර්යක්ෂමව, විශේෂිත සේවාවන් සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ණය අනුමත කරන කේන්ද්‍රස්ථාන 13ක් ක්‍රියාත්මක කරයි. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සබඳතා නිලධාරීන් ගෙදරටම පැමිණ සේවාව ලබා දෙන අතර, ණය ලබා ගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමට උපදේශනයෙන්, ලිපිලේඛන සැකසීමෙන්, සහ මූල්‍ය සැලසුම් මගින් ඔවුන් සිය සේවාදායකයන්ට සහාය ලබාදෙනු ඇත.
ණය අනුමත කාල සීමාවන් කෙටි කිරීමෙන් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට තමන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීමටත්, ව්‍යාපාරයන්හි අඛණ්ඩතාව පවත්වා ගෙන යෑමටත්, අනවශ්‍ය ප්‍රමාදයන්ගෙන් තොරව වර්ධනය වීමට ලැබෙන අවස්ථාවලින් ප්‍රතිලාභ ගැනීමට සහය ලබාදීමටත් සෙලාන් බැංකුව අපේක්ෂා කරයි. එසේම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට රටේ ආර්ථික ප්‍රගතියට දායක වීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය සහතික කිරීම වෙනුවෙන්, සෙලාන් බැංකුව සිය සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වෙත කේන්ද්‍රගත වූ විසඳුම් ලබාදීම තවත් පුළුල් කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ඇත.
Video Story