April, 21, 2026
ගෞරවනීය ව්‍යාපාරිකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයෙකු වන ශිරන්ත පීරිස් මහතා, ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සඳහා සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මෙම නිවේදනය සිදු කෙරුණේ අප්‍රේල් 20වෙනි දින නෙළුම් කුළුණේ 'Cosmic' පරිශ්‍රයේදී පැවැති ක්‍රීඩා සංගම් නියෝජිත හමුවකදීය. පැහැදිලි සහ ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින්, පාලන පද්ධතිය ශක්තිමත් කිරීම, සම්මේලන ඒකාබද්ධ කිරීම සහ ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීම පිළිබඳ සිය දැක්ම පීරිස් මහතා මෙහිදී විස්තර කළේය.
දශක හතරකට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති පීරිස් මහතා, රුපියල් බිලියන 6 ඉක්මවන වාර්ෂික පිරිවැටුමක් සහිත ප්‍රමුඛ පෙළේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන 'Mega Pharma Group of Companies' හි හිමිකරු වේ. ඔහුගේ වෘත්තීය ගමන් මග තුළින් ශක්තිමත් මෙහෙයුම් විනයක්, මූල්‍ය භාරකාරත්වය සහ මහා පරිමාණ ආයතන ගොඩනැගීමට හා මෙහෙයවීමට ඇති හැකියාව පිළිබිඹු වේ. එමෙන්ම එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන දෙරටෙන්ම MBA පශ්චාත් උපාධි ද්විත්වයක් සම්පූර්ණ කරගෙන ඇති ඔහු, එමගින් සිය උපායමාර්ගික සහ නායකත්ව සුදුසුකම් තවදුරටත් තහවුරු කරයි.
“නායකත්වය කියන්නේ පොදු අරමුණකට එකතු වුණු, ක්‍රියාවෙන් විනිවිදභාවයක් සහිත සහ ප්‍රතිඵල ලබාදීමේදී වගකියනු ලබන ආයතනයක් ගොඩනැගීමයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ ක්‍රීඩකයන්ගේ, සම්මේලනවල සහ සමස්ත රටේ යහපත උදෙසා සාධාරණව සහ ස්ථාවරව ක්‍රියාත්මක වන පද්ධතියකි,” යැයි පීරිස් මහතා පැවසීය.
ව්‍යාපාරික ක්ෂේත්‍රයට අමතරව, යටිතල පහසුකම් සංවර්ධනය සහ ක්‍රීඩා පරිපාලනය හරහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් පීරිස් මහතා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඔහු නුවරඑළිය, කටුකුරුන්ද සහ පායාගල යන ප්‍රදේශවල වෙඩි තැබීමේ ක්‍රීඩා මධ්‍යස්ථාන සංවර්ධනය හා නවීකරණය කිරීම සඳහා පෞද්ගලිකව ආයෝජනය කර ඇති අතර, එම පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කරමින් ක්‍රීඩාවට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට සහාය වී ඇත.
2015 වසරේදී ඔහු ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ (NSSF) ප්‍රථම සිවිල් සභාපතිවරයා බවට පත් විය. 2025 දක්වා වූ ඔහුගේ ධුර කාලය තුළ, සහභාගීත්වය ක්‍රීඩකයන් 200කගේ සිට 7,500කට අධික තරුණ ක්‍රීඩකයන් සංඛ්‍යාවක් දක්වා වර්ධනය කරමින් සම්මේලනය විශාල ප්‍රගතියක් අත්කර ගත්හ. ඔහුගේ නායකත්වය යටතේ තාරුණ්‍යයේ සංවර්ධනය සඳහා මූලික ප්‍රමුඛතාවයක් ලබා දුන් අතර, වයස අවුරුදු 16න් පහළ ක්‍රීඩකයන් ජාතික මට්ටමේ ජයග්‍රහණ සහ ආසියානු මට්ටමේ තරඟවලදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.
“නිසි ක්‍රමවේදයකට සහ දිගුකාලීන සැලසුම්වලට මුල් තැන දෙන විට සාර්ථකත්වය ලැබෙන බව අපි අත්දැකීමෙන් දන්නවා. එම විනයගරුක සහ සැමට අවස්ථාව උදාවන්නාවූ වැඩපිළිවෙළ තුළින් ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම දියුණු කරන්නත්, ක්‍රීඩකයන්ට ජයග්‍රහණ කරා යන මාවත විවර කරන්නත් හැකි බව මා විශ්වාස කරනවා.’’ඔහු වැඩිදුරටත් පැවසීය.
පීරිස් මහතා දැනට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති ලෙස කටයුතු කරන අතර, ආසියානු වෙඩි තැබීමේ සම්මේලනයේ විධායක සාමාජිකයෙකු සහ ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ සංවර්ධන මුලපිරීම් සඳහා සහාය වන මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනවල තනතුරු දරයි. ඔහු නෙළුම් කුළුණේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන අතර, එමගින් මහා පරිමාණ ජාතික ව්‍යාපෘතිවල නිරත වීමට සහ රජයේ පාර්ශවකරුවන් සමග සමීපව කටයුතු කිරීමට ඔහුට ඇති හැකියාව පිළිබිඹු වේ.
ඔහුගේ ක්‍රීඩා ගමන් මග ආරම්භ වූයේ වයස අවුරුදු 12 දී තම පියාගේ මගපෙන්වීම යටතේ වායු රයිෆල් (Air Rifle) වෙඩි තැබීමේ ක්‍රීඩාවට පිවිසීමෙනි. පසුව ඔහු 2000 වසරේ පැවති සාෆ් (SAF) වෙඩි තැබීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් රිදී පදක්කමක් සහ කේවල ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත් අතර, එමගින් ජාත්‍යන්තර තරඟකාරිත්වයේ ඇති අවශ්‍යතා පිළිබඳව සෘජු අත්දැකීම් ඔහු සතු වේ.
මෙම අවස්ථාවට සහභාගී වූ සංගම් සාමාජිකයින් සහ මාධ්‍ය අමතමින් පීරිස් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තීරණාත්මක මොහොතක පවතින බවත්, එයට අවශ්‍ය වන්නේ වඩාත් ශක්තිමත් වැඩපිළිවෙළක්, වැඩි සමගියක් සහ විනිවිදභාවයෙන් යුත් පාලනයක් අවශ්‍ය බවත්ය. ජාතික ඔලිම්පික් කමිටුවේ කාර්යභාරය විය යුත්තේ සාධාරණ අවස්ථා නිර්මාණය කරන සහ සියලුම ක්‍රීඩා ඉසව් සඳහා සහාය දක්වන විශ්වසනීය, ඵලදායී සහ විශ්වාසදායක ආයතනයක් ලෙස සේවය කිරීම බව ඔහු අවධාරණය කළේය.
ඔහුගේ වැඩපිළිවෙළේ මූලික අවධානය යොමු වී ඇත්තේ පොදු අරමුණක් වෙනුවෙන් එක්සත් වූ, විනිවිදභාවයෙන් යුත් මෙහෙයුම් සහිත සහ සාධාරණ අවස්ථා ලබා දෙන ජාතික ඔලිම්පික් කමිටුවක් ගොඩනැගීම කෙරෙහි ය. ඔහු පෙන්වා දුන් ප්‍රධාන ප්‍රමුඛතා අතර තීරණ පිළිබඳ කාර්තු වශයෙන් තීරණ විවෘතව දැනුම් දීම, අරමුදල් සහ අනුග්‍රාහකත්ව අවස්ථා සඳහා විවෘත පිළිවෙතක් අනුගමනය කිරීම, කුසලතාව පදනම් කරගත් සුදුසුකම් රාමු, ශක්තිමත් ක්‍රීඩක ආරක්ෂණ යාන්ත්‍රණ සහ ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් සඳහා ව්‍යුහගත හැකියාවන් සංවර්ධනය කිරීම ඇතුළත් විය.
එසේම, ඔලිම්පික් නිවස වෙත අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි විධිමත් ක්‍රමවේදයක් සැකසීම, නිසි ලෙස වගකීම් බෙදාදීම හරහා ආයතනික වගකීම තහවුරු කිරීම සහ රජය හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ වඩාත් සමීප සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට ද ඔහු මෙහිදී යෝජනා කළේය.
“ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවට පවතින දක්ෂතාවල අඩුවක් නැත. අපට ඇත්තටම අවශ්‍ය වන්නේ සියලු දෙනා ඒකරාශී කරන, විශිෂ්ටත්වය කරා යන ගමනට අත්වැලක් වන සහ සෑම ක්‍රීඩකයෙකුටම ඉදිරියට යාමට සම අවස්ථා ලබා දෙන වගකීම් සහගත වැඩපිළිවෙළකි,” යැයි පීරිස් මහතා පැවසීය. “මගේ අවධානය යොමු වී ඇත්තේ සියලු පාර්ශ්වයන් එක්සත් කරන, උපරිම ප්‍රතිපත්තිගරුක භාවයකින් ක්‍රියා කරන සහ ක්‍රීඩා ප්‍රජාවට මෙන්ම මුළු රටටම විශ්වාසය තැබිය හැකි ප්‍රතිඵල ලබා දෙන ජාතික ඔලිම්පික් කමිටුවක් ගොඩනැගීම කෙරෙහි ය.”
ව්‍යාපාරික නායකයෙකු, ක්‍රීඩා පරිපාලකයෙකු සහ ජාතික තලයේ ක්‍රීඩකයෙකු ලෙස ලබා ඇති සුවිශේෂී අත්දැකීම් සමුදාය සමඟින්, ශිරන්ත පීරිස් මහතා ප්‍රායෝගික ප්‍රතිඵල, ආයතනික ස්ථාවරත්වය සහ දිගුකාලීන ගුණාත්මක වෙනසක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කළ අපේක්ෂකයෙකු ලෙස සිය ස්ථාවරය සනිටුහන් කළේය.
Video Story