GV Auto ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන ක්ෂේත්‍රය වර්ධනය කිරීමට ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් වාහන හඳුන්වා දෙයි

    April, 28, 2026

    වර්තමානයේ ආර්ථික හා බලශක්ති ගැටලුවලට විසඳුමක් ලෙස Gavinro සමූහ ව්‍යාපාරය විසින් සිය නවතම සමාගම වන  GV Auto හරහා නව විද්‍යුත් වාහන පෙළක් වෙළඳපොළට හදුන්වා දී තිබේ.

    Gavinro සමූහ ව්‍යාපාරය වසර ගණනාවක් පුරා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය අභිමානය විහිදුවා ඇත්තේ නවෝත්පාදනය සහ කාලීන වෙළඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීමේ දුරදක්නා හැකියාව නිසාවෙනි. වෙනස් වන වෙළඳපොළ ප්‍රවණතාවලට ගැළපෙන අනාගතයට සරිලන විසඳුම් ලබාදීමට ඇති එම කැපවීමෙහි තවත් එක් සාර්ථක පියවරක් ලෙස GV Auto සමාගම හඳුන්වා දෙන ලදී. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ විද්‍යුත් වාහන භාවිතය වඩාත් පුළුල් පරාසයකින් ජනතාවට සමීප කරවීමයි.

    Skywell, Skyworth සහ Keyton වැනි ලොව සුප්‍රසිද්ධ විද්‍යුත් වාහන සන්නාම රැසක් GV Auto නියෝජනය කරයි. Fortune China 500 ලැයිස්තුවට ද ඇතුළත් Skyworth නිෂ්පාදන ඇතුළුව, සුඛෝපභෝගී SUV රථ සහ වාණිජ වාහන රැසක් ඔවුන් සතුය. එමඟින් තනි පුද්ගල පාරිභෝගිකයින්ට මෙන්ම ව්‍යාපාරවලට  අවශ්‍ය පූර්ණ විද්‍යුත් වාහන විසඳුම් සපයන ප්‍රධාන ආයතනයක් ලෙස GV Auto පෙනී සිටියි.

    Gavinro සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ අභීත් දංගල්ල මහතා, ‘’විද්‍යුත් වාහන භාවිතය පරිසර හිතකාමී වගේම ලාභදායී මූල්‍යමය තීරණයක්. ඉන්ධන සහ නඩත්තු වියදම් අවම වීම නිසා මෙය දිගුකාලීන වාසි ගෙන දෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවට මෙය ඉතාමත් කාලෝචිත විසඳුමක් වන අතර, ව්‍යාපාරික ස්ථාවරත්වය වෙනුවෙන් ගත හැකි හොඳම පියවරක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්.’’ යනුවෙන් මේ පිළිබඳ සිය අදහස් දැක්වීය.

    විද්‍යුත් වාහන නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයෙකු වන Skywell New Energy සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව අප සතුටු වනවා. මගී ප්‍රවාහන රථ, බස් රථ, බර වාහන මෙන්ම නවීනතම රියදුරු රහිත තාක්ෂණය දක්වා පුළුල් පරාසයක නිෂ්පාදන ඔවුන් සතුයි. එමෙන්ම ජපානය, සිංගප්පූරුව සහ යුරෝපා සංගමය වැනි රටවලට වාහන අපනයනය කරන ප්‍රමුඛ සමාගමක් වන Keyton සමූහය සමඟ ඇති කරගත් නව සහයෝගීතාව පිළිබඳව ද අප බෙහෙවින් සතුටු වෙනවා. මෙම සබඳතා හරහා විශ්වාසනීය සහ ඕනෑම අවශ්‍යතාවකට ගැළපෙන වාණිජ වාහන විසඳුම් මෙරට වෙළඳපොළට ලබාදීමට අපට දැන් හැකියාව තිබෙනවා." යනුවෙන් දංගල්ල මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

    මෙම සබඳතා හරහා විද්‍යුත් සහ වාණිජ වාහන යන ක්ෂේත්‍ර දෙකෙහිම නවෝත්පාදනවල පෙරමුණ ගැනීමට GV Auto ආයතනයට හැකියාව ලැබී තිබේ. එමඟින් වෙනස් වන වෙළඳපොළ ඉල්ලුමට සරිලන පරිපූර්ණ නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමටත්, තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සහය වීමටත් එම සමාගමට අවස්ථාව උදා වේ.

    GV Auto ආයතනය පසුගියදා පැවැති ‘Motor EV Technology’ ප්‍රදර්ශනය සඳහා ද සහභාගී වූ අතර එමඟින් අනාගත ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් තුළ ඇති කැපවීම මැනවින් පෙන්නුම් කළේය. එහිදී ඔවුන්ගේ විද්‍යුත් වාහන පෙළ ප්‍රදර්ශනය කළ අතර තිරසාර ප්‍රවාහන විසඳුම් පිළිබඳව උනන්දුවක් දක්වන පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට ද එහි දී අවස්ථාව ලැබුණි.

    මෙම සමාගම Aramex Sri Lanka, Navesta Pharmaceuticals, W15 Group සහ Wishque (Pvt) Ltd. ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට විද්‍යුත් වාහන (EV) ප්‍රවාහන විසඳුම් ලබා දීම සඳහා ගිවිසුම්ගත වී ඇත. මීට අමතරව වඩාත් ලාභදායී සහ තිරසාර ප්‍රවාහන ක්‍රම වෙත යොමු වෙමින් පවතින විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයේ ආයතන රැසක් ද දැනටමත් මොවුන් සමඟ එක්ව සිටියි.

    ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ කුලී ප්‍රවාහන සේවා රථ රියදුරන් ඇතුළු විවිධ පිරිස් වෙත මෙම සමාගම සේවා සපයයි. ප්‍රවාහන වියදම් අඩු කිරීම හෝ සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දීම යන ඕනෑම අවශ්‍යතාවක දී ඔවුන්ගේ ප්‍රධාන පණිවිඩය වන්නේ, 'එක්වරක් විද්‍යුත් වාහනයකට මාරු වී, සැමදා ඉතිරි කරන්න' යන්නයි.

    GV Auto පාරිභෝගිකයෙකු වන මනෝහර ද සිල්වා මහතා, "එක් වරක් ආරෝපණය කළ පසු වැඩි දුරක් ධාවනය කළ හැකි වාහනයක් සොයමින් සිටි මම, මගේ දෙවන විද්‍යුත් වාහනයත් GV Auto වෙතින්ම මිල දී ගත්තා. රැකියාව සඳහා නිතර දුර බැහැර යන මට Skywell BE11 Luxury රථය ඉතා පහසු මෙන්ම විශ්වාසනීය අත්දැකීමක් ලබා දෙනවා. ඔවුන්ගේ නවීන මට්ටමේ අලෙවියෙන් පසු සේවා සහ අමතර කොටස් පහසුවෙන් ලබා ගත හැකි වීම නිසා GV Auto පිළිබඳව මට ලොකු විශ්වාසයක් තිබෙනවා." යනුවෙන් අදහස් දැක්වීය.

    විද්‍යුත් වාහන සම්බන්ධයෙන් පවතින දුර ප්‍රමාණය පිළිබඳ ගැටලු සහ දිගුකාලීන විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලුවලට විසඳුම් ලබාදීමට GV Auto ආයතනය කැප වී සිටියි. මේ වෙනුවෙන් ඔවුන් අලෙවියෙන් පසු සේවා, අමතර කොටස් ලබා දීම සහ වාහනවල ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා විශාල ආයෝජනයක් සිදු කර ඇත.

    විද්‍යුත් වාහන පිළිබඳ පවතින වැරදි ආකල්ප වෙනස් කරමින්, ඒවා ශ්‍රී ලංකාවට වඩාත්ම ගැළපෙන සහ නැණවත් ප්‍රවාහන ක්‍රමයක් බවට පත් කිරීම GV Auto හි අරමුණයි. නවෝත්පාදනය සහ දිගුකාලීන වටිනාකම පෙරදැරි කර ගනිමින්, මිනිසුන් ප්‍රවාහනය දෙස බලන ආකාරය සහ රිය පදවන ආකාරයෙහි නව පෙරළියක් ඇති කිරීමට GV Auto කටයුතු කරයි.