Sri Lanka Padel League 2026 හී නිල සන්නිවේදන සහකරු ලෙස HUTCH අත්වැල් බැඳගනී

    April, 29, 2026

    ක්‍රීඩාව යනු හුදෙක් පිටිය තුළ දක්වන දක්ෂතාවයට පමණක් සීමා නොවී, එය ජීවන රටාව, ප්‍රජාව සහ ඩිජිටල් අත්දැකීම් දක්වා විහිදී ගිය පුළුල් සංකල්පයක් බවට පත්ව ඇත. මෙම ගෝලීය ප්‍රවණතාවය හඳුනාගනිමින්, ලෝකය තුළ වේගයෙන්ම වර්ධනය වන Padel ක්‍රීඩාවේ ජීව ගුණය සහ සන්නිවේදනය බලගැන්වීම උදෙසා HUTCH සමාගම Sri Lanka Padel League 2026  සමඟ අත්වැල් බැඳගෙන ඇත.

    පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු මෙම හවුල්කාරිත්වය, මෙරට Padel ක්‍රීඩාවේ නව ප්‍රබෝධයක ඇරඹුම සනිටුහන් කරයි. මෙම සුවිශේෂී තරඟාවලිය 2026 ජූනි මස 19 සිට 21 දක්වා කොළඹ CR & FC හි පිහිටි ‘Padel House’ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි. ලොව වේගයෙන්ම වර්ධනය වන නාගරික ක්‍රීඩාවක් ලෙස සැලකෙන මෙම ක්‍රීඩාව කෙරෙහි මෙරට පවතින ඉහළ උනන්දුව පිළිබිඹු කරමින්, ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැසක් මෙවර තරඟාවලියට එක්වීමට සූදානමින් සිටී.

    කාර්යක්ෂමතාව, උපායශීලීත්වය සහ මනා සම්බන්ධීකරණය Padel ක්‍රීඩාවේ මූලිකාංග වන අතර, එම සාරධර්ම HUTCH සමාගමේ දැක්ම සමඟ ද මනාව ගැළපෙනු ඇත. ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් 500 අතර සිටින CK Hutchison Holdings සමූහයේ සාමාජිකයෙකු ලෙස, නවීන තාක්ෂණය සහ වර්තමාන ලෝකයේ සබඳතා හරහා පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීම් ලබා දීමට HUTCH නිරතුරුවම කැපවී සිටී. මෙම හවුල්කාරිත්වය හරහා ජනතාව, ඔවුන්ගේ අභිලාෂයන් සහ තාක්ෂණය එකිනෙක එක් කරමින්, වේගවත් හා බුද්ධිමත් අන්තර්ක්‍රියාකාරීත්වයකින් යුතු ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමට HUTCH අපේක්ෂා කරයි.

    වර්තමාන ක්‍රීඩා අත්දැකීම් භෞතික ක්‍රීඩාවට පමණක් සීමා නොවන අතර, සජීවී විකාශනය, ක්ෂණික යාවත්කාලීන කිරීම් මෙන්ම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම ලෙස සිදු කිරීමට සහ ක්ෂණික තොරතුරු හුවමාරුව සඳහා තාක්ෂණය ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෙම සහයෝගීතාවය යටතේ, HUTCH ENTERPRISE හි ප්‍රබල තාක්ෂණික යටිතල පහසුකම් දායකත්වය හරහා ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට උසස් ඩිජිටල් අත්දැකීමක් ලබා දීමටත්, සමස්ත තරඟාවලියේ සාර්ථකත්වය තහවුරු කිරීමටත් HUTCH සූදානම්ව සිටී.

    මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් HUTCH සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී හම්දි හසන් මහතා ප්‍රකාශ කර සිටියේ, “HUTCH අප සැමවිටම අවධානය යොමු කරන්නේ පොදු උනන්දුවක් සහිත ක්ෂේත්‍ර සහ අර්ථවත් අත්දැකීම් ඔස්සේ ජනතාව එකිනෙකා හා සම්බන්ධ කිරීමටයි. මෙම හවුල්කාරිත්වය හරහා Padel ක්‍රීඩා ලීගය තාක්ෂණිකව සවිබල ගැන්වීමටත්, එමඟින් ක්‍රීඩාව තවදුරටත් පුළුල් කිරීමටත් අපට අවස්ථාව හිමිවෙනවා. මෙය මෙරට නැගී එන ක්‍රීඩා ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කිරීමට සහ නව ක්‍රීඩා සංස්කෘතීන් පෝෂණය කිරීමට අප දක්වන කැපවීමේ තවත් එක් පියවරක් බවයි.”

    ක්‍රීඩාව, ජීවන රටාව සහ ඩිජිටල් තාක්ෂණය අතර පවතින සීමාවන් අවම වෙමින් පවතින පසුබිමක, HUTCH සමාගමේ මෙම පියවර සුවිශේෂී වනවා. පසුගිය වසරේ පැවති ප්‍රථම Ceylon Golf League සඳහා ලබා දුන් සක්‍රීය දායකත්වයෙන් පසු, HUTCH ගත් මෙම නවතම පියවර මගින් පෙන්නුම් කරන්නේ සාම්ප්‍රදායික සන්නිවේදන සේවාවන්ගෙන් ඔබ්බට ගොස් නව අත්දැකීම් උත්පාදනය කරන සහ ශක්තිමත් ප්‍රජාවන් ගොඩ නැඟීමට ඇති HUTCH සමාගම සතු කැපවීමයි.