සෙලාන් බැංකුව, Make-A-Wish Sri Lanka සමඟ වසරක සහයෝගීතාවය සමරයි

    May, 4, 2026

    සෙලාන් බැංකුව විසින් ඉන්දිරා පිළිකා භාරය (ICT) සහ Make-A-Wish Sri Lanka සමඟ ඇති කර ගත් සහයෝගීතාවයට වර්ෂයක් සපිරී තිබේ. ඒ අනුව, 2026 අප්‍රේල් 29 වන දින මෙම සහයෝගීතාවයේ පළමු සංවත්සරය සනිටුහන් වූ අතර, පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන් සඳහා බලාපොරොත්තු සහ අර්ථවත් අත්දැකීම් ලබාදීමත් සමඟින් ගෙවුණු වසරක කාලය මෙහිදී සැමරිණි.

    Make-A-Wish ජාත්‍යන්තරයේ බලපත්‍රලාභී ආයතනයක් ලෙසට Make-A-Wish Sri Lanka දියත් කිරීමෙන් පසු ලබා තිබෙන ප්‍රගතිය පිළිබිඹු කරමින් මහරගම සුව අරණ පරිශ්‍රයේ පැවැත්වුණු මෙම උත්සවයේදී දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්, ස්වේච්ඡා ක්‍රියාකාරිකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ හවුල්කරුවන් යන සියලු දෙනාම එකට හමුවිණි.

    පසුගිය වසර පුරා,  Make-A-Wish නිල බැංකු සහකරු ලෙසට සෙලාන් බැංකුව විසින්මූල්‍යමය සහයෝගය ලබා දෙමින්, පොදු වැඩසටහන් හරහා මේ පිළිබඳව දැනුවත්භාවය ඇති කරමින්, එමෙන්ම ප්‍රජා සහභාගීත්වය දිරිමත් කරමින්, Make-A-Wish සඳහා මුඛ්‍ය කාර්යභාරයක් ඉටු කරන්නට යෙදිණි. පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන්ගේ ජීවිත සඳහා අතිමහත් බලපෑමක් සිදු කරමින් ආරම්භ වූ මෙම සහයෝගීතාවය එහි දෙවන වර්ෂයට පා තබන මොහොතේ, සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් එක්ව රුපියල් මිලියන 10 ක දායකත්වයක් ස්වේච්ඡාවෙන් ලබා දී තිබෙන අතර, එම පරිත්‍යාගය තවත් දරුවන්ගේ ජීවිත සඳහා බලාපොරොත්තුවක් එක් කරනු ඇත. මෙම දායකත්වය මගින් සුවය ලබාගැනීමේ මාර්ගය තුළ සිටින දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ශුභවාදී හැඟීමක් ඇති කිරීම සඳහා ඔවුන් ගන්නා ප්‍රයත්නය ද පිළිබිඹු කරනු ඇත. එසේම, සෙලාන් බැංකුවේ ඉස්ලාමීය බැංකු ඒකකය මගින්, ඖෂධ, ප්‍රවාහන පහසුකම් සහ රෝගීන්ගේ සුභසාධනය සම්බන්ධ කාරණාවන්ට සහයෝගය ලබාදීම තුළින්, මෙම වැඩසටහනේ සමස්ත බලපෑම ශක්තිමත් කරමින්, පිළිකා සත්කාරයන් තවත් පුළුල් කිරීම සඳහා දායක වී ඇත.

    මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා මෙසේ පවසන ලදී, “සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙසට, අප සේවය කරන ප්‍රජාවන් තුළ අර්ථවත් බලපෑමක් ඇති කිරීම කෙරෙහි අපි සැමවිටම අවධානය යොමු කර ඇත්තෙමු. පසුගිය වසර පුරා, ඉන්දිරා පිළිකා භාරය සහ Make-A-Wish Sri Lanka සමඟ අප පවත්වාගෙන ආ හවුල්කාරිත්වය, මෙම දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට, ඔවුන්ගේ ජීවිත වල දුෂ්කරතම කාලවකවානු තුළදී සහායක් බවට පත්වීමට අපට ඉඩ සලසා දී ඇත. මෙම දරුවන්ගේ ජීවිත වලට සතුට ගෙන ඒමට කටයුතු කළ අපගේ සහයෝගීතාවය පුරා සිටින සෑම සියළු අයෙකුගේම උත්සාහයන්ට අමතරව, සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ත්‍යාගශීලීත්වයන්ට සහ ඔවුන්ගේ සංවේදී භාවයට මම විශේෂයෙන් ස්තූති කරනවා. එසේම, මෙම වැඩසටහන පුළුල් කිරීමට සහ අපගේ ආයතනය පුරාමත්, ඉන් ඔබ්බටත් තවත් ඉහළ සහභාගීත්වයක් ලබාදීම සඳහා ධෛර්‍යය එකතු කිරීමටත් අපි කැපවී සිටින්නෙමු.”

    එසේම, ඉදිරියට යාමේදී, ඉන්දිරා පිළිකා භාරය සහ සුව අරණ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ව්‍යුහගත සේවක ස්වේච්ඡා වැඩසටහන් හඳුන්වා දීම ඔස්සේ, පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සෘජුවම සහාය ලබාදීමට සෙලාන් බැංකුව කටයුතු සැලසුම් කරමින් සිටී.

    Make-A-Wish Sri Lanka දියත් කළ දිනයේ සිට, පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන් ගේ ප්‍රාර්ථනාවන් 150 කට අධික සංඛ්‍යාවක් ඉටු කර දීමට වැඩසටහන සමත්වී සිටින අතර, ඒ ඔස්සේ එම දරුවන්ගේ ජීවිත වලට සතුටත්, ඔවුන් සඳහා දිරිගැන්වීමත්, එසේම එම දුෂ්කර කාලයට මුහුණ දීම සඳහා මානසික ශක්තියත් එතුළින් ලැබී තිබේ. මෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම යනු ඉන්දිරා පිළිකා භාරය විසින් මෙහෙයවනු ලබන පුළුල් සත්කාර ප්‍රවේශයක කොටසක් වන අතර, එය වෛද්‍ය සහාය සමඟ, මානසික දියුණුව ඒකාබද්ධ කරනු ඇත.

    Make-A-Wish Sri Lanka විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන මෙහෙවරේ පළමු සංවත්සරය පිළිබඳව අදහස් දක්වමින්, ඉන්දිරා පිළිකා භාරයේ සභාපති සහ භාරකරු වන වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මෙසේ අදහස් එක් කරන ලදී. “බලාපොරොත්තුවක අවශ්‍යතාවයෙන් පසුවන දරුවන් සහ ඔවුන්ගේ පවුල් සඳහා ප්‍රාර්ථනා සැබෑ කර දීමේ පුරා වසරක් සැමරීමේදී, එම ප්‍රාර්ථනාවන්ට සුවය ගෙන ඒම සඳහා ලබාදීමට හැකි අතිමහත් බලය මෙහිදී අපි සිහිපත් කරමු.  බලාපොරොත්තුව පෝෂණය කිරීම සඳහා වන දැක්මකින් මඟ පෙන්වනු ලබන මෙම වැඩසටහන ඔස්සේ, පිළිකා රෝගයට මුහුණ දෙන දරුවන්ගේ ජීවිත වලට සිනහව සහ ධෛර්යය ගෙන ඒම සඳහා අද දිනයේදී තවත් ප්‍රාර්ථනාවන් 70 ක් ඉටු කර දීමට හැකිවීම සම්බන්ධයෙන් අපි අතිශයින්ම සතුටු වෙමු”.

    මෙම සංවත්සරය සැමරීමේ උත්සවයේදී සිය ප්‍රාර්ථනාවන් ඉෂ්ට කර ගත් දරුවන් විසින් එම අත්දැකීම් බෙදාගත් අතර, සාමූහික සහයෝගීතාවය තුළින් එම සෑම ප්‍රාර්ථනාවක්ම ඉටු කර දීමට හැකි බවද පිළිබිඹු කරන ලදී. එය සියලුම හවුල්කරුවන්ට, අඛණ්ඩව සිදුවන වැඩසටහන් සහ අනාගත සැලසුම් සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ද උදා කර දෙන ලදී.

    ඉන්දිරා පිළිකා භාරය මගින් පරිපාලනය කරනු ලබන Make-A-Wish Sri Lanka වැඩසටහන, ජීවිත වෙනස් කරන අන්දමට ප්‍රාර්ථනාවන් මල්ඵල ගැන්වීමෙන්, පිළිකා රෝගයට මුහුණ දී සිටින දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම සහ බලාපොරොත්තුව පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. එය වෛද්‍ය ප්‍රතිකාරයන්ට ද යහපත් බලපෑමක් ඇති කරනු ඇත.

    සෙලාන් බැංකුව සහ Make-A-Wish Sri Lanka අතර පවතින මෙම සහයෝගීතාවය මගින්, සෞඛ්‍ය සේවාවෙන් ඔබ්බට ගොස් මූල්‍ය ආයතන, පුණ්‍ය සංවිධාන සහ ප්‍රජාවන් එකට එකතු කර, තිරසාර බලපෑමක් ඇති කිරීම සඳහා ආධාරක පද්ධතියක් ගොඩනැගීමට සිදු කරන කැපවීම පිළිබිඹු කරනු ඇත.