ශ්‍රීලංකන් ගුවන් සේවය PAX Awards හිදී දකුණු ආසියානු කලාපයේ කාණ්ඩ සම්මාන 2 කින් පිදුම් ලබයි

    May, 4, 2026

    ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ජර්මනියේ හැම්බර්ග්හිදී පැවති ‘PAX International Readership Awards 2026’ හිදී ගුවන් සේවා සම්මාන කාණ්ඩය යටතේ සම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් විය. ‘Best Overall Passenger Experience’ සහ ‘Most Improved Airline’ යන සම්මාන මෙලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත හිමි විය. ගුවන් සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් ඇගයීමට ලක්කරන PAX සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ එහි ගෝලීය පාඨකයන්ගේ මනාපය අනුවය.

    ‘The Best Overall Passenger Experience – South Asia’ යනු ගුවන් ගමන් තුළදී ආහාරපාන සේවා, විනෝදාස්වාද පහසුකම් සහ ආසන පැනවීම ආදිය සම්බන්ධයෙන් විශිෂ්ටතම සේවාවක් ලබාදෙන ගුවන් සේවාවන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානයකි. ශ්‍රී ලංකන් ගුවන් සේවය කවදත් මෙම සේවා අංශයන් ඉහළම මට්ටමක පවත්වා ගැනීම සඳහා දැඩි අවධානයක් යොමුකරයි. මගීන්ට විශිෂ්ටතම සේවාවක් සැලසීම සඳහා එම ගුවන් සේවයේ විවිධ අංශ දැඩි කැපවීමෙන් හා සහයෝගයෙන් යුතුව කටයුතු කරන අතර, සෑම සේවාවක්ම නිරන්තර අධීක්ෂණයන්ට හා වැඩිදියුණු කිරීම්වලට ලක් වේ.

    “අපගේ සේවාවන්ට යළිත් වරක් මෙවැනි ස්වාධීන ඇගයුමක් හිමි වීම අප ලැබූ විශාල ගෞරවයක් ලෙස අප දකිනවා. මගීන් සමඟ කරන සෑම ගනුදෙනුවක්ම අපට බෙහෙවින් වැදගත්. අප උත්සාහ කරන්නේ ඔවුන් අපේක්ෂා කරන මට්ටමටත් වඩා ඉහළ සේවාවක් ඔවුන් වෙත ලබාදීමටයි. එම උත්සාහයන් මෙලෙස ඇගයීමට ලක් වීම අපට මහත් සතුටක්.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ කළමනාකාරිනී - නිපැයුම් සහ සේවා, මරියා සතාසිවම් මහත්මිය පැවසුවාය.

    ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේ සිට ගුවන් ගමන අවසාන වන තෙක් සම්පූර්ණ ක්‍රියාවලිය තුළ මගීන්ට විශිෂ්ටතම අත්දැකීමක් පිරිනැමීම සහ එම අත්දැකීම නිරන්තරයෙන් වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම උත්සාහ දරයි. එම උත්සාහයේ කොටසක් වශයෙන් පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පිරිනැමීම සඳහා AI තාක්ෂණික විශේෂාංගද ඇතුළත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවිය සහ Whatsapp සේවාවද නිරන්තරයෙන් වැඩිදියුණු කෙරේ. මීට අමතරව මගීන්ගේ පහසුව හා තෘප්තිය වෙනුවෙන් තවත් අමතර සේවාවන් රාශියක්ද මේ වන විට හඳුන්වා දී ඇත. තවද සිය ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මගීන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා මේ වන විට Self-check-in සහ Bag Drop පහසුකම්ද හඳුන්වා දී ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් තුළදී මගීන්ට එම ගුවන් සේවයට අනන්‍ය වූ සුහද සත්කාරය ලබාදීම සඳහා ගුවන් සේවා කාර්ය මණ්ඩලය සෑමවිටම සූදානමින් සිටිති. ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර උරුමය තුළින් ආභාසය ලැබූ ප්‍රණීත දේශීය ආහාරපාන මෙන්ම ජාත්‍යන්තර ආහාර සම්ප්‍රදායන්ට අයත් රසවත් ආහාරපාන වර්ග රැසක්ද මගීන්ට මෙම ගුවන් ගමන් තුළදී රස බැලිය හැකි වේ. මෙම ආහාරපාන මේ වන විට මගීන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවල ඇති විනෝදාස්වාද පහසුකම් හෙවත් Inflight Entertainment පහසුකම්ද මගීන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් ගෙනෙයි. තෝරාගත් ගුවන් යානාවල ආසන පසුපස ඇති ඩිජිටල් තිර සහ Wireless Screening පහසුකම් ඔස්සේ මගීන්ට දේශීය හා ජාත්‍යන්තර චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ආදිය නැරඹිය හැකි අතර මියුරු ගීත හා සංගීත නිර්මාණවලටද සවන් දිය හැකි වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවය මගීන්ට රටවල් 61 ක ගමනාන්ත 120 ක් වෙත පියාසර කිරීමට අවස්ථාව සලසා දෙන අතර, ඒ අතරට Codeshare හවුල්කාරීත්වයන් ද ඇතුළත්ය. එහි සෘජු සේවාවන් යුරෝපය, ඕස්ට්‍රේලියාව, මැදපෙරදිග, ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ ඈත පෙරදිග දක්වා විහිදී පවතී. අති නවීන A330-200/300 සහ A320/321 ගුවන් යානා එකතුවක් ශ්‍රීලංකන් ගුවන් සේවය සතුය.

    වැඩිදුර තොරතුරු සහ වෙන්කරවාගැනීම් සඳහා www.srilankan.com වෙත පිවිසෙන්න. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමාජ මාධ්‍ය පිටු වෙතින්ද නවතම තොරතුරු ලබාගත හැකි වේ.