සෙලාන් බැංකුව සහ DIMO එක් වී වාණිජ රථවාහන සඳහා කඩිනම් හා පහසු ලීසිං විසඳුම් පිරිනමයි

    May, 6, 2026

    සෙලාන් බැංකුව සහ DIMO සමාගම අතර විශේෂ හවුල්කාරීත්වයකට පසුගියදා අත්සන් තැබිණි. DIMO යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ වසර 85 කට අධික පළපුරුද්දක් හිමි සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ DIMO වෙතින් TATA වාණිජ රථවාහන මිලදීගන්නා ගනුදෙනුකරුවන්ට සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වේ.

    විශ්වාසයෙන් යුතුව තෝරාගත හැකි TATA රථවාහන මිලදීගන්නා පුද්ගලයන්ට හා ව්‍යාපාරවලට තරගකාරී මූල්‍ය පහසුකම් කඩිනමින් හා පහසුවෙන් ලබාදීමේ අරමුණින් මෙම හවුල්කාරීත්වය ඇතිකරගන්නා ලදී. කාර්යක්ෂම මූල්‍ය පහසුකම් පිරිනමමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයට සමගාමීව ක්‍රමයෙන් ඉහළ යන ප්‍රවාහන හා ගමනාගමන අවශ්‍යතා සපුරාලීමට දායක වීම සඳහා සෙලාන් බැංකුව දක්වන උනන්දුව මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

    මේ යටතේ සුදුසුකම් ලබන ගැනුම්කරුවන්ට DIMO සමාගම, ගෙන්වා අලෙවි කරන වාණිජ රථවාහන අතරින් තමන් කැමති මාදිලියේ රථවාහන මිලදීගැනීම සඳහා මෙම මූල්‍ය පහසුකම් භාවිතා කළ හැකි අතර, ඒ සඳහා  පැය 24 ක් වැනි කෙටි කාලයක් ඇතුළත අනුමැතිය හිමි වේ. සෙලාන් බැංකුව සහ DIMO එක් වී මෙම ගැනුම්කරුවන්ට ලීසිං පිරිසැකසුම් ගාස්තු සඳහා 50% ක වට්ටමක් පිරිනැමීමටද කටයුතු යොදා ඇත(මෙය සීමිත කාල සීමාවක් සඳහා පමණක් වලංගු වේ). ඊට අමතරව තෝරාගත් රථවාහන මාදිලි සඳහා විශේෂ රක්ෂණ ප්‍රතිලාභද හිමි වේ.

    මෙම ලීසිං ක්‍රමය යටතේ ගනුදෙනුකරුවන්ට තරගකාරී ලීසිං අනුපාත හිමි වන අතර, අයදුම් කිරීමේ ක්‍රියාවලිය තුළදී ඔවුන් වෙතටම පැමිණ අවශ්‍ය සහයෝගය හා මගපෙන්වීම ලබාදීමට සෙලාන් බැංකුවේ ලීසිං විශේෂඥයෝ සූදානමින් සිටිති. ලිපිලේඛන කටයුතු, අනුමැතිය සහ ලීසිං පහසුකම අනුමත වීමෙන් අනතුරුව සිදු කළ යුතු දේවල් ආදී සියල්ල සඳහා අවශ්‍ය සහයෝගය, දිවයින පුරා පිහිටි සෙලාන් ශාඛා ජාලය හරහා කඩිනමින් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි වනු ඇත.

    “ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් මූල්‍ය විසඳුම් පිරිනමන අතරම, ව්‍යවසායකයන්ට සහ ව්‍යාපාරවලට විශ්වාසනීය රථවාහන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීම සඳහා සෙලාන් බැංකුව කවදත් උත්සාහ කරනවා. DIMO සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය එහි තවත් එක් පියවරක්.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යූජින් සෙනෙවිරත්න මහතා පැවසීය.

    "මෙම හවුල්කාරීත්වය නිසා රටේ වැඩි පිරිසකට කුඩා ප්‍රමාණයේ වාණිජ රථවාහනවල සිට මහා පරිමාණ ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය වන රථවාහන දක්වා පුළුල් පරාසයක පැතිරුණු රථවාහන මිලදී ගැනීමට හැකියාව ලැබේවි. මෙම රථවාහන සඳහා DIMO සමාගමේ විශ්වාසනීය දීපව්‍යාප්ත අලෙවියෙන් පසු සේවාවත් හිමිවනවා. මේ නිසා වර්තමාන සංකීර්ණ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීමට කැමති ව්‍යාපාරිකයන්ට මෙය මහඟු අවස්ථාවක් වේවි.” DIMO සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ රථවාහන විකුණුම්) සම්පත් කුමාරසිංහ මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන සෙලාන් බැංකුව සහ රථවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන DIMO එක් වී, රට පුරා ගැනුම්කරුවන්ට විශිෂ්ට සේවාවක් සමඟින් වඩාත් පහසුවෙන් වාණිජ රථවාහන මිලදී ගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් ආරම්භ කළ මෙම ලීසිං සේවාව, සමාගම් දෙකෙහිම ඉදිරි ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. 

    මෙම ලීසිං පහසුකම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 200 88 88 අමතන්න.

    ඡායාරූපය (වමේ සිට) - DIMO සමාගමේ ජ්‍යෙෂ්ඨ විකුණුම් කළමනාකරු දීප්ත කුමාර මහතා ප්‍රමුඛ DIMO කණ්ඩායම, සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යූජින් සෙනෙවිරත්න මහතා ඇතුළු සෙලාන් බැංකු කණ්ඩායම සමඟ හවුල්කාරීත්ව ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව