තරුණ පරපුර බලගන්වමින් සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා Citrus Leisure PLC වෙතින් සුවිශේෂී ප්‍රජා සත්කාරක පුහුණු වැඩසටහනක්

    May, 11, 2026

    Citrus Leisure PLC ආයතනය විසින් පිහිටුවන ලද ‘Citrus School of Hotel Management’ හෝටල් කළමනාකරණ පාසලේ සමාරම්භක කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2026 පෙබරවාරි 25 වන බදාදා දින Citrus Waskaduwa හි Mandarin Shore උත්සව ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

    ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ (George Steuart & Company) 190 වන සංවත්සරය නිමිත්තෙන් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස මෙම හෝටල් පාසල ආරම්භ කරන ලදී. මෙය එම සමූහ ව්‍යාපාරයේ "ස්ටුවර්ට් සෙනෙහස" ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන්නකි. ලාභයෙන් ඔබ්බට ගිය සමාජ මෙහෙවරක් ("Purpose Beyond Profit") යන ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ දීර්ඝකාලීන දැක්ම මින් මැනවින් නිරූපණය වන අතර, තිරසාර ව්‍යාපාර ගොඩනැගීමට මෙන්ම අර්ථවත් සමාජ බලපෑමක් ඇති කිරීමට සමූහයේ ඇති කැපවීම ද මෙයින් තහවුරු වේ.

    2025 ජූලි 15 වන දින ආරම්භ වූ මෙම සමාරම්භක පාඨමාලාව 2026 ජනවාරි 15 වන දින සාර්ථකව නිම කරන ලදී. මාස හයක කාලයක් පුරා පැවැත්වුණු මෙම වැඩසටහන තුළදී සිසුන්ට පන්ති කාමර දේශන මෙන්ම ප්‍රායෝගික පුහුණුව ද ඇතුළත් විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන ලදී.

    ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ලෙසත්, මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් මෙම ක්ෂේත්‍රයට පිවිසීමට නොහැකිව සිටින තරුණ තරුණියන්ට අතහිත දීම සඳහාත් මෙම වැඩසටහන සැලසුම් කර ඇත. පෞද්ගලික හෝටල් පාසල් සඳහා මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට වරම් නොමැති දක්ෂ තරුණ පිරිස් වෙත වෘත්තීය පුහුණුව ලබා දීම හරහා විදේශ විනිමය උපයන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමට ද Citrus Leisure PLC මෙහිදී පියවර ගෙන තිබේ.

    මෙම කණ්ඩායම යටතේ සිසුන් 18 දෙනෙකු සාර්ථකව පුහුණුව නිම කළ අතර, ආහාර පාන සේවා (Food & Beverage Service) අංශයෙන් සිසුන් 04ක් ද, මුළුතැන්ගෙයි මෙහෙයුම් (Kitchen Operations) අංශයෙන් සිසුන් 13ක් ද සහ පිළිගැනීමේ නිලධාරී (Front Office Operations) යන  අංශයෙන් එක් සිසුවෙකු ද විශේෂඥ පුහුණුව ලබා ඇත.

    ඉලක්කගත සංඛ්‍යාවන් අභිබවා යමින්, සිසුන් තුළ ඇති වූ ගුණාත්මක පෙරළිය මෙම වැඩසටහනේ සැබෑ ප්‍රතිඵලය නිරූපණය කරයි. ආධුනිකයන් ලෙස පැමිණි තරුණ තරුණියන්, මාස හයක පුහුණුවකින් පසු තාක්ෂණික දැනුම මෙන්ම කණ්ඩායම් හැඟීම සහ වෘත්තීය විනයෙන් සන්නද්ධ වූ විශිෂ්ට පෞරුෂයකින් යුත් මානව සම්පතක් ලෙස අද සමාජයට දායාද වී ඇත. මෙහිදී දක්ෂතම සිසුවිය ලෙස සම්මානයට පාත්‍ර වූ ශිෂ්‍යාව, මෙම වැඩසටහන හරහා සිදුවන කාන්තා සවිබල ගැන්වීම සහ විශිෂ්ටත්වය සඳහා කදිම නිදසුනකි.

    මෙම උත්සවය සඳහා Citrus Leisure PLC සහ ජෝර්ජ් ස්ටුවර්ට් සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ. ඒ අතර Citrus Leisure PLC හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චන්දන තල්වත්ත මහතා, එහි විකුණුම් අධ්‍යක්ෂ මනි සුගතපාල මහතා, ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ මානව සම්පත් සහ පරිපාලන අධ්‍යක්ෂිකා අචලා සිල්වා මහත්මිය සහ Citrus Leisure PLC හි සමූහ මානව සම්පත් ප්‍රධානී තිවංක තබ්‍රෙව් මහතා ද විය. ඔවුන්ගේ විශේෂඥ දැනුම ද මෙම පුහුණු වැඩසටහන සාර්ථක කර ගැනීමට මහත් දායකත්වයක් ලබා දී ඇත.

    සංවත්සර සැමරුමක් ලෙස ඇරඹි මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හේතුවෙන්, තවත් බොහෝ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සහජ හැකියාවන් ඔප්නංවා ඔවුන් සවිබල ගැන්වීමටත්, එමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන දියුණුවට අඛණ්ඩව දායක වීමටත් Citrus Leisure PLC අපේක්ෂා කරයි.

    ඡායාරූප විස්තර: Citrus Leisure PLC හි විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චන්දන තල්වත්ත මහතා සහ Citrus Leisure PLC හි සමූහ මානව සම්පත් ප්‍රධානී තිවංක තබ්‍රෙව් මහතා.