First Capital සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගිණුම් ආරම්භ කිරීම සඳහා Smart ඩිජිටල් සේවාවක් දියත් කරයි  

    May, 18, 2026

    JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) ට අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගිණුම් ආරම්භ කිරීම සඳහා ඩිජිටල් සහකරු ක්‍රමයක් සහිත Smart ඩිජිටල් සේවාවක් (Smart Assisted Customer Onboarding Platform) හඳුන්වා දී තිබේ. මෙය නවීනතම තාක්ෂණය ඔස්සේ මෙරට ආයෝජන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා දරන ලද සුවිශේෂී ප්‍රයත්නයකි.

    වසර 40 ක පළපුරුද්ද සහ විශ්වාසය තුළින් පන්නරය ලබන First Capital සමාගම වර්තමාන ගනුදෙනුකරුවන්ගේ චර්යා රටාවන් අනුව ක්‍රමයෙන් තම ව්‍යාපාරික ක්‍රමවේදයන් වැඩිදියුණු කරමින් සිටී. වත්මන් ගනුදෙනුකරුවෝ වේගය, සරලත්වය සහ පහසුව වැනි සාධක සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරති. මෙම නවතම ක්‍රමවේදයද නව පරපුරේ ආයෝජකයන් ඉලක්ක කරගෙන හඳුන්වා දෙන ලද, ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් ආකර්ෂණීය නව හඳුන්වාදීමක් ලෙස හැඳින්විය හැකි වේ.

    SAVI (Smart Assistant for Virtual Investments) යනු වඩාත් කාර්යක්ෂම ලෙස ගනුදෙනුකරුවන්ට මඟපෙන්වීම සඳහාම සැලසුම් කර ඇති ඩිජිටල් සහකරු ක්‍රමවේදයකි. මෙමඟින් ගනුදෙනුකරුවන්ට ගිණුම් විවෘත කිරීම සහ ඊට අදාළ තොරතුරු තහවුරු කරගැනීම සඳහා පියවරෙන් පියවර පූර්ණ මඟපෙන්වීමක් ලබාදෙනු ලැබේ. මේ නිසා තවදුරටත් දුරකථන ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් ලබාදීම, මුද්‍රිත ලිපිලේඛන ඉදිරිපත් කිරීම සහ මඟපෙන්වීමකින් තොරව දීර්ඝ ක්‍රියාවලි අනුගමනය කිරීම අවශ්‍ය නොවේ.

    SAVI හරහා දැන් ගනුදෙනුකරුවන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට First Capital වෙබ් අඩවියට හරහා ගිණුම් විවෘත කළ හැකි වේ. එමෙන්ම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තුළදී වීඩියෝ මඟින් අනන්‍යතාව තහවුරු කරගැනීමද දැන් ඉතාමත් පහසුවෙන් සිදු කළ හැක. මේ නිසා ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව, තමන් කැමති ආකාරයට මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කළ හැකි වේ.

    “අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් සහ ඔවුන් ගනුදෙනු කරන ආකාරය හඳුනාගෙන, ඊට සමගාමීව ආයෝජන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා අප දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. නවීනතම තාක්ෂණය භාවිතා කරමින් මෙම ගිණුම් විවෘත කිරීමේ ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේ සෑම පියවරකදීම මෙතෙක් පැවති බාධාවන් ඉවත් කර සමස්ත ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්. SAVI නිසා අපගේ ගනුදෙනුකරුවන්ට නිරවද්‍යතාව සහ ආරක්ෂාව සම්බන්ධ කිසිදු ගැටලුවකින් තොරව වඩාත් සරල, පහසු සහ ඉක්මන් ලෙස මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙනවා.” First Capital Holdings PLC සමාගමේ ප්‍රධාන තාක්ෂණ හා ඩිජිටල් නිලධාරී මිථිල අබේසේකර මහතා පැවසීය.

    මෙම නව ක්‍රමවේදය දැනටමත් ගනුදෙනුකරුවන්ට ප්‍රතිලාභ රැසක් අත්කර දී තිබේ. Optical Character Recognition (OCR) තාක්ෂණය නිසා වඩාත් ඉක්මනින් සහ නිවැරදි ලෙස ලිපිලේඛනවල සත්‍යතාව තහවුරු කරගැනීමට හැකි වී ඇති අතර, පද්ධතිය මඟින්ම ක්ෂණිකව හා ස්වයංක්‍රීයව උපදෙස් ලබාදීම සිදු වන නිසා ගිණුම් විවෘත කිරීමේ කටයුතු අතිශයින් පහසු වී ඇත. මෙය ආයෝජන ක්‍රියාවලිය වඩාත් සරල, පහසු සහ වැඩි පිරිසකට විවෘත දෙයක් බවට පත්කිරීම සඳහා First Capital සමාගම දරන උත්සාහයට මනා සාක්ෂියකි.

    මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ, මෙම පදනමට අතිශය පුළුල් ආරක්ෂක විධිවිධාන යොදා තිබීමය. මේ නිසා වේගය හා පහසුව පවත්වාගන්නා අතරම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ පද්ධතියේ විශ්වාසනීයත්වය වැඩි කිරීමට හැකි වී ඇත.

    මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්මාර්ට් තාක්ෂණය සහිතව ගනුදෙනුකරුවන් ගිණුම් විවෘත කිරීමේ ඩිජිටල් සේවාවක් නිර්මාණ කිරීම සඳහා First Capital සමාගම Nagarro සමාගම සමඟ එක්ව කටයුතු කළේය. ක්ෂණිකව තොරතුරු තහවුරු කරගැනීමේ හැකියාව, Smart තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීයකරණය සහ පරිශීලකයන්ට පූර්ණ මගපෙන්වීමක් ලබාදීමේ විධිවිධාන ආදිය හේතුවෙන් මෙම පද්ධතිය ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් සහ වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ගෙනෙනු ඇත.

    මෙවැනි සුවිශේෂී හඳුන්වා දීම් හේතුවෙන්, අඛණ්ඩව නව්‍යත්වය වෙනුවෙන් කැප වී සිටින ඉදිරිගාමී චින්තනයකින් යුත් සමාගමක් ලෙස තමන් දිනා සිටින ප්‍රසාදය තවදුරටත් වර්ධනය කරගැනීමට First Capital සමත් වී තිබේ.

     

    ඡායාරූපය: First Capital Holdings PLC සමාගමේ ප්‍රධාන තාක්ෂණ හා ඩිජිටල් නිලධාරී මිථිල අබේසේකර මහතා