2026 ආර්ථික වර්ධනය ගැන මහ බැංකු අධිපති මෙසේ කියයි

    May, 18, 2026

    2026 වසරේ දී 5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වූවත් පවතින ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ ඒ පිළිබඳව පුරෝකථනයක් සැපයීම මේ අවස්ථාවේ දී අපහසු කරුණක් බවත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    2026 වසරේ ආර්ථික වර්ධන ඉලක්ක සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “මේ තියෙන අවිනිශ්චිතතාවය මත උපකල්පනය කරන්න පුළුවන් එක එක scenarios මත. මේ වසරෙත් 5%කින් පමණ ආර්ථික වර්ධන වෙයි කියලා තමයි මුලින් බලාපොරොත්තුව තිබුණේ. නමුත් ඊට පස්සේ මාර්තු මාසයෙන් පස්සේ අප්‍රේල් වගේ මාසවල තිබුණ ලෝක ආර්ථික තත්ත්වයේ වෙනස නිසා, ඉන් ඉදිරි මාස තුනෙන් පස්සේ කොහෙමද වෙන්නේ කියන එක පුරෝකථය කරන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේදී දැනට තිබෙන පුරෝකථනය තිබුණේ 5%ක ආසන්නව. ඒ මේ ආර්ථික අර්බුදය එන්න කලින්. ආවට පස්සේ කොහොමද මේක ඉදිරි කාලය තුළ වෙනස් වෙන්නේ, ස්ථාවර වෙන්න කියන එක ගැන තවමත් අවිනිශ්චිතතාවක් තියෙන නිසා පුරෝකථනයක් කරන්න අමාරුයි. එකම දේ කරන්න පුළුවන් මේක මාස තුනකින්  ඉවරවෙලා ඊළඟ මාස තුන සාමන්‍ය තත්ත්වයට පත්වුණොත් එතකොට මාස තුනේ බලපෑම විතර එන්නේ. එතකොට 5% කියන එක ටිකක් අඩුවෙන්න පුළුවන්. මාස තුනේ එක තව මාස 6කට, මාස 9කට දිගු වුණොත් ඒ බලපෑම ආර්ථික වර්ධනයට ඊට වඩා බලපාන්න පුළුවන්. ඒක දැන්ම පුරෝථනය කරන් අපහසුයි. මොකද එතනින් පස්සේ තවදුරටත් මොකද්ද වෙන්නේ කියන එක මම හිතන්නේ අපි කාටවත් පුරෝකථනය කරන්න අමාරුයි. ඒ නිසා මේ අවස්ථාවේ හරියටම ඉලක්කමකින් පුරෝකථනය කරන්න අමාරුයි. නමුත් එකක් දකින්න පුළුවන්, ගිය වසරේ බලාපොරාත්තු වුණ, මේක නොතිබුණානම් 5%ක ආසන්න ආර්ථික වර්ධනයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඊට වඩා යම් කිසි අඩුවීමක් වෙයි. මොකද දැනටමත් යම්කිසි ආකාරයක බලපෑමක් වෙලා තියෙනවා දෙවැනි මාස තුන ඇතුළත තෙල් මිල වැඩිවීම, උද්ධමනය වැඩිවීම වගේ දේවල් නිසා."