September, 15, 2016
ශ්‍රීලංකන් ගුවන් සමාගම , ආරක්ෂක හේතුන් මත ගුවනේ දී Samsung Galaxy Note7 ස්මාර්ට් ජංගම දුරකථනය නැවත දැනුම්දෙන තුරු භාවිත කිරීම සහ බැටරි ආරෝපණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවරගෙන තිබේ. එහි දුරකතන බැටරිය ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් Samsung සමාගම විසින්ද අදාල දුරකථනය අලෙවිය අත්හිටුවීමට පියවරගෙන ඇත.
මෙම තහනම් නියෝගය මත ගුවන් ගමන තුළ Samsung Galaxy Note7 දුරකතන බැටරි ආරෝපණය කිරීම සහ ගමන් මලු සහ භාණ්ඩ ලෙස නැව් ගත කිරීම තහනම් වන අතරම ඒවා පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු යොදා තිබේ. ගුවන් ගමනේ දී මෙන්ම ගුවන් පිවිසුම් පිරික්සුම් කවුන්ටරය මගින් ද මෙයට අදාල නිවේදන හා දැන්වීම් හරහා ගුවන් මගීන්ව මෙම තහනම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
එසේම ගුවන් සමාගම් කිහිපයක් සහ ගුවන් සේවා බලධාරීන් ද මේ ආකාරයේ තහනමක් පනවා ඇති බව නිවේදනය කර ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සාමාජිකයෙකු වශයෙන් සහ එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන ( FAA ) සංගමයද Samsung Galaxy Note 7 ස්මාර්ට් දුරකතන භාවිතය සඳහා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලන සංගමය සඳහන් කළේ Galaxy Note7 උපාංග පිළිබඳ මෑතක සිට ඇතිවී තිබෙන සිදුවීම් හේතුවෙන් ගුවන් යානා මත මෙම උපකරණය සක්‍රීය කිරීම, භාවිත කිරීම හෝ ගමන් මලුවල තබා ගැනීම නොකරන ලෙස දැඩි ලෙස ගුවන් මගීන්ව දැනුවත් කළ බවයි.
Samsung සමාගම ඉන්දියාව තුළද Galaxy Note7 ජංගම දුරකථන එළිදැක්වීම කල් දමමින් එහි වෙබ් අඩවියේ සඳහන් කර ඇත්තේ නව Galaxy Note7 සම්බන්ධයෙන් පැමිණිලි සහ නරක ප්‍රතිචාර ලැබී ඇති බවත් ඒ අනුව විධිමත් පරීක්ෂණයක් මගින් එය දුරකතන බැටරියේ ඇති වූ ප්‍රශ්නයක් බව සොයාගත් බවයි. එසේම මේ දක්වා ඒ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පැමිණිලි 35 ක් පමණ ලැබී ඇති අතර, දැනට වෙළෙඳපොළ තුළ ඇති බලපෑම එල්ල වූ බැටරි හඳුනා ගැනීම සඳහා සැපයුම්කරුවන් සමඟ සම්පුර්ණයෙන් පරීක්ෂාවක් සිදුකරන බවයි. තවද පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් Samsung Galaxy Note7 ජංගම දුරකථන ඉන්දියාව තුළ විකිණීම ප්‍රමාද කර ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.