May, 26, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින්, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අතින් විශාලම සමාගම බවට මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී ඊයේ (25) පත්විය. ඒ මෙතෙක් එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටි ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් අභිබවා යමිනි.
ඊයේ (25) දිනයේ දී පූර්ව ගනුදෙනු දිනයට (22) සාපේක්ෂව 7%ක පමණ ප්‍රමාණයකින් ඩයලොග් ආසියාටා කොටස් මිල ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි මිල සටහන්ව තිබුණේ රු. 39.90ක් ලෙසිනි.
ඩයලොග් ආසියාටා හි නිකුත් කර ඇති කොටස් ප්‍රමාණය කොටස් බිලියන 9.2ක් වන අතර ඒ අනුව ඊයේ දිනට සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 367.09ක් ලෙසින් සටහන්ව ඇත. ඒ වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය වාර්තා වී ඇත්තේ රු. බිලියන 359.36ක් ලෙසිනි.
මෙම ලැයිස්තුවේ තෙවන ස්ථානයට ලංකා දුම්කොළ සමාගම පත්ව ඇති තර එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 341.91ක් ලෙසින් වාර්තා වේ.
රු. බිලියන 320.88 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියමින් කොමර්ෂල් බැංකුව මෙම ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවන අතර එය ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන බැංකු සමාගම ද වේ.
LOLC හෝල්ඩිංග්ස් (රු. බි. 268), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (රු. බි. 261), මෙල්ස්ටාකෝප් (රු. බි. 218), හේලීස් (රු. බි. 189) හා හැටන් නැෂනල් බැංකුව (රු. බි. 185), කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන සෙසු ප්රමුඛ සමාගම් වේ.

Video Story