එක රැයකින් ඩොලරය පහළට ආ හැටි මහ බැංකු අධිපති හෙළි කරයි

    May, 26, 2026

    ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අන්තර් බැංකු සහ බැංකුවලින් පිටත බැංකු-ගනුදෙනුකරුවන් වශයෙන් දෙයාකාරයකින් විදේශ විනිමය ගනුදෙනු වන බවත්, එහිදී පැවති සමපේක්ෂණ චේතනාවන් හේතුවෙන් බැංකු සහ ගනුදෙනුකරුවන් අතර සිදු වූ ගනුදෙනුවල දී ඩොලරයේ අගය විශාල වශයෙන් ඉහළ ගිය බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කෙසේවෙතත් එම අවස්ථාවේ දී අන්තර් බැංකු විනිමය අනුපාතිකයන් පැවතියේ ඊට වඩා පහළ මට්ටමක බවත්, අන්තර්බැංකු විනිමය හුවමාරු මට්ටමට, බැංකුවලින් පිටත කෙරෙන විනිමය ගනුදෙනු ගෙනඒම හරහා වේගයෙන් ඉහළ ගිය ඩොලරයේ අගය පහළට පැමිණි බව අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කර සිටියේය.

    ඉහළ ගිය ඩොලරය එක රැයකින් පහළට ගෙනඒමට හැකිවූයේ කෙසේදැයි යනුවෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අද (26) පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසීය.

    “අන්තර් බැංකු ගනුදෙනු සහ බැංකුවලින් පිටත බැංකු සහ ගනුදෙනුකරුවන් අතර වශයෙන් විනිමය වෙළෙඳපොළ දෙකක් තියෙනවා. අපි දැක්කා, විනිමය අනුපාතය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය නිසා යම්කිසි ආකාරයකින් Speculation වෙන නිසා, ගොඩාක් වෙලාවට ආනයන කරන්න අවශ්‍ය අය මේ තියෙන අවිනිශ්චිතතාවය සහ යම්කිසි Speculation නිසා ඒගොල්ලෝ තමන්ට කැමති ගාණකට, ඕනම ගාණකට බැංකුවලින් විදේශ විනිමය ගන්න බලනවා. බැංකු අතර වෙළෙඳපොළ 330 වගේ මට්ටමක තියෙන කොට බැංකුවෙන් පිටත ආනයනය කරන අය බැංකුවලින් ඉල්ලන්න ගත්තා 345ට 350ට 354ටත් ගියානේ. එතකොට මේකේ ගැළපීමක් නැහැ. බැංකු අතර ගනුදෙනු වෙනවා අඩුයි ගොඩාක්, බැංකුවෙන් පිටත ආනයනකරුවන් 350, ඊට අමතරව forwardවලින් අරගෙන 380ට 400ටත් සමහර අය කලබලවෙලා විදේශ විනිමය අරගෙන තමන්ගේ ආනයනවලට වියදම cover කර ගන්න බැලුවා. එතකොට ඒ තත්ත්වය තුළ අපි ගත්ත එක පියවරක් තමයි, බ්‍රහස්පතින්දා (21) හවස මේ අතර ලොකු වෙනසක් තියෙනවා, ඒ අනුව අන්තර් බැංකු වෙළෙඳපොළේ යම්කිසි ආකාරයක විනිමය අනුපාතය අර තැනට ගැළපෙන ආකාරයට ඉදිරියට ගෙනාවාට පස්සේ, ඒ Inter-Bank මාකට් එක activate වුණා එතන දී. ඒ activate වෙනවාත් එක්කම ආනයන-අපනයනකරුවන්ට බැංකු හරහා ගනුදෙනු තුළින් හැමෝටම වෙළෙඳාම කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේක ස්ථාවර වුණේ.“

    “ඒ වෙලාවේ කලබල වෙලා ගත්ත අය, විශේෂයෙන් වාහන ආනයන කරන අය, ඒගොල්ලෝ විනිමය අනුපාතය 350ට 360ට forward එකට 370ට එහෙම ගන්න ඇති.  නමුත් ඒ අයගෙන් බඩු ගන්න අය විශේෂයෙන් දැනගන්න ඕනේ, අපි හිතමු වාහනයක් ගන්නවා කියලා, ඒගොල්ලෝ කිව්වොත් අපේ විනිමය අනුපාතය අපි 350ට ගත්තේ, ඒ නිසා මේ ගාණ ගෙවන්න ඕනේ කියලා, මගේ ඉල්ලීම ඒ පවතින විනිමය අනුපාතයට මිසක්, වැඩිපුර ගත්තා නම් ඒ පාඩුව ඒගොල්ලෝ ගන්න ඕනේ. ඒක කස්ටමර්ට පාස් කරන එක වැරදියි.“