පැල්වත්ත සමාගමෙන් රුපියල් බිලියන 1.86ක දැවැන්ත ආයෝජනයක්

    May, 27, 2026

    පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම (Pelwatte Dairy Industries Limited) සමඟ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන පැල්වත්ත ෆුඩ්ස් (පුද්ගලික) සමාගම (Pelwatte Foods Private Limited) විසින් පසුගිය දා සිය කුරුණෑගල  කර්මාන්තශාලා පරිශ්‍රයේ නවතම දියර කිරි නිෂ්පාදනාගාරයක් ස්ථාපනය කිරීමේ පළමු අදියර  ආරම්භ කරන ලදී. ඒ අනුව සමාගම , මේ සඳහා දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

    රුපියල් බිලියන 1.86කට ආසන්න වටිනාකමකින් යුත් මෙම ආයෝජනය සඳහා වන නිල ගිවිසුම, කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල (BOI) මූලස්ථානයේ දී අත්සන් තබන තැබූ අතර මෙම අවස්ථාවට පැල්වත්ත ඩේරි සමාගමේ සභාපති ආරියසීල වික්‍රමනායක මහතා, කළමනාකාර අධ්‍යක්ෂ අක්මල් වික්‍රමනායක මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

    මෙම නව කර්මාන්තශාලාව මඟින් ප්‍රධාන වශයෙන් දියර කිරි සහ චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි මෙන්ම අයිස් කෝපි (Iced Coffee) වැනි විවිධ රසවලින් යුත් රසකළ කිරි වර්ග නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. නවීනතම සැකසුම් තාක්ෂණයෙන් සහ ඉහළ ස්වයංක්‍රීයකරණයකින් (Highly Automated) යුතුව සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ජාත්‍යන්තර නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩ ගුණාත්මකභාවයකින් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත සමීප කිරීමයි. මෙහි ඉදිකිරීම් කටයුතු 2026 ජූලි මාසයේ දී ආරම්භ කිරීමට නියමිත අතර, 2027 ජූලි මාසය වන විට වාණිජ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
    ශ්‍රී ලංකාවේ ගර්භණී මවුවරුන් සහ කුඩා දරුවන් වැනි අවදානමට ලක්විය හැකි පිරිස් අතර මන්දපෝෂණය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් වී පවතින වටපිටාවක, පැල්වත්ත සමාගම මෙම ආයෝජනය සිදුකිරීම සුවිශේෂී වේ. සෞඛ්‍ය දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ උපදින සෑම දරුවන් හයදෙනෙකුගෙන් එක් අයෙකු උපතින්ම අඩු බර සහිත වන අතර, එය දිගුකාලීන සෞඛ්‍ය සහ වර්ධන ගැටලුවලට හේතුවක් ලෙස පෙන්වාදෙයි. එමෙන්ම දේශීය ඇස්තමේන්තුවලට අනුව මෙරට බිළිඳුන්ගෙන් 15.9% – 18%  අතර ප්‍රමාණයක් උපතේදී ම අඩු බරින් යුක්ත වෙයි. තව ද,  ප්‍රජනක වයසේ පසුවන කාන්තාවන්ගෙන් 34.6%ක් පමණ රක්තහීනතාවයෙන් පෙළෙන බැවින් එය මවගේ සහ බිළිඳාගේ සෞඛ්‍යයට සෘජුවම බලපානු ලබයි. එපමණක් නොව වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 17%ක් පමණ වර්ධනය අඩාල වීම්වලට ලක්ව ඇති අතර, 15%කට වැඩි පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙයි. ගර්භණී සමයේ දී මවගේ පෝෂණය ඉහළ නැංවීම සහ උසස් තත්ත්වයේ ප්‍රෝටීන් බහුල ආහාර ලබාදීම මෙම අවදානම් අවම කිරීමට අත්‍යවශ්‍ය පියවරක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.
    දශක ගණනාවක සිට ශ්‍රී ලාංකික නිවෙස්වල විශ්වාසය දිනාගත් පූර්ණ යොදය සහිත කිරිපිටි සන්නාමයක් වන පැල්වත්ත සමාගම, එම විශ්වාසය දියර කිරි ක්ෂේත්‍රය වෙත ද ව්‍යාප්ත කරමින් පාරිභෝගිකයන්ට පහසුවෙන් ලබාගත හැකි පෝෂණීය විකල්ප රැසක් හඳුන්වා දීමට සූදානම් වෙයි. මෙම නව ආයෝජනය මඟින්  දේශීය කිරි නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් වීම, ආනයනික කිරි නිෂ්පාදන මත යැපීම අවම වීම, ගර්භණී මවුවරුන්ගේ සහ වැඩෙන දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට දායක වීම, දේශීයව නිෂ්පාදිත උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදන මඟින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම ආදී වූ ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    නවීන තාක්ෂණය භාවිතය හේතුවෙන් සෘජු රැකියා උත්පාදනය සීමිත වුව ද, දේශීය නැවුම් කිරි සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම ඇතුළු කිරි කර්මාන්ත සැපයුම් දාමය පුරා තවත් වක්‍ර ප්‍රතිලාභ රැසක් මෙමඟින් නිර්මාණය වනු ඇත. එසේම ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වූ සමාගමේ නියෝජිතයන් සඳහන් කළේ, මෙය හුදෙක් ව්‍යාපාරික ව්‍යාප්තියක් පමණක් නොව, රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වෙනුවෙන් කරන ලද දිගු කාලීන ආයෝජනයක් බවයි. නවීන සැකසුම් තාක්ෂණය උපයෝගී කර ගනිමින් වටිනා කිරි නිෂ්පාදන හඳුන්වා දීම හරහා ළමා සංවර්ධනය සහ මාතෘ සෞඛ්‍යය ඉහළ නැංවීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ පෝෂණ අභියෝග ජය ගැනීමට සක්‍රීයව දායක වීම පැල්වත්ත සමාගමේ අභිප්‍රාය වේ.
    2026 මැද භාගයේ දී ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත මෙම කුරුණෑගල නව ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ පැල්වත්ත සමාගම සතු පුරෝගාමී භූමිකාව තවදුරටත් ශක්තිමත් කරමින් මන්දපෝෂණය තුරන් කිරීමේ ජාතික ප්‍රයත්නයට විශාල ශක්තියක් වනු ඇත.