May, 27, 2026
මෑතකාලීන ඉතිහාසයේ දරුණුතම ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ශ්‍රී ලංකාව, නව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් සහ පැහැදිලි වර්ධන දැක්මක් සහිතව පෙරට පැමිණ ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ව්‍යාපාර සහ ආයෝජන සඳහා සම්පූර්ණයෙන්ම විවෘතව පවතින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා අවධාරණය කරයි.
2026 මැයි 8 වන දින පැවැත්වුණු "ශ්‍රී ලංකා–වියට්නාම වෙළඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය" අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම වියට්නාමය ඇතුළු අග්නිදිග ආසියානු (ASEAN) කලාපීය ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ ආරක්ෂිතම සහ විශ්වාසවන්තම ආයෝජන ගමනාන්තය බවයි.
2023 වසරේ පැවති 2.3% ක පසුබෑමෙන් මිදී ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සංඛ්‍යාලේඛන මඟින් මනාව තහවුරු වේ. මහ බැංකු පුරෝකථනයන්ට අනුව 2024 සහ 2025 වසරවලදී 5.0% ක කැපී පෙනෙන දදේනි (GDP) වර්ධනයක් අත්කරගෙන ඇති ශ්‍රී ලංකාව, 2026 වසරේදී ද 4.0% ක අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරයි.
2024 දී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 614 ක FDI අගය, 2025 වන විට ඩොලර් බිලියන 1.063 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් ඇත. 2026 වසරේ ඉලක්කය ඩොලර් බිලියන 1.5 කි.
වත්මන් වෙළඳ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව වියට්නාමයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 238 ක භාණ්ඩ ආනයනය කරන අතර, වියට්නාමයට අපනයනය කරනු ලබන්නේ ඩොලර් මිලියන 40 ක භාණ්ඩ පමණි. ශ්‍රී ලංකාව වියට්නාමයට වඩා 6 ගුණයකට ආසන්න ප්‍රමාණයක් එරටින් ආනයනය කරන බැවින්, ද්විපාර්ශ්වික වෙළඳ තුලනයක් ඇති කරගැනීම සඳහා ආයෝජකයින්ට විශාල අවස්ථාවක් පවතී. මෙරට තේ, රබර් නිෂ්පාදන, ඇඟලුම් සහ මුහුදු ආහාර වියට්නාම වෙළඳපොළට අපනයනය කිරීමේ අවස්ථා උදා වී ඇත. ගෝලීය සැපයුම් දාමයන් තනි වෙළඳපොළකින් බැහැරව ආසියාව තුළ විවිධාංගීකරණය වීමේ ප්රවණතාවෙන් දෙරටටම උපරිම ප්රතිලාභ ලබාගත හැක.ASEAN කලාපය තුළ වියට්නාමයේ පවතින ශක්තිමත් ස්ථානය, ශ්‍රී ලංකාවට අග්නිදිග ආසියාවට ඇතුළු වීමට කදිම දොරටුවක් බව ආචාර්ය ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතු ප්‍රධාන ශක්තීන් 3ක් හඳුනාගෙන ඇත. ඒ අනුව ලෝකයේ ප්‍රධානතම නැගෙනහිර-බටහිර මුහුදු මාර්ගයේ පිහිටි කොළඹ වරාය ලොව 28 වන ස්ථානයේ පසුවේ. ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 70%ක් සහ බහාලුම් ගමනාගමනයෙන් 50%ක් සිදුවන්නේ ලංකාවට දකුණින් පිහිටි මුහුදු මාර්ගයෙනි. මීට අමතරව වසරකට මගීන් මිලියන 10ක් සහ භාණ්ඩ ටොන් 188,800ක් හසුරුවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද්විත්වය රට සතු විශිෂ්ට සැපයුම් (logistics) යටිතල පහසුකම් කියාපායි.
දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතාව සහ මනා ඉංග්‍රීසි භාෂණ හැකියාව ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය ශ්‍රී ලංකාව සතුය. ලොව දෙවන විශාලතම CIMA වෘත්තිකයන් පිරිස සිටින්නේ ශ්‍රී ලංකාවේය. රජයේ විශ්වවිද්‍යාල 18ක් සහ උසස් අධ්‍යාපන ආයතන මඟින් වසරකට උපාධිධාරීන් 44,000ක් බිහි කරන අතර, TVET තාක්ෂණික වැඩසටහන් හරහා තවත් සිසුන් 225,000ක් වාර්ෂිකව වෘත්තීය වෙළඳපොළට එකතු වේ.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ව්‍යාපාරිකයෙකුට පහත වරණීය වෙළඳ ගිවිසුම් හරහා බදු රහිතව ලෝක වෙළඳපොළට පිවිසිය හැක. යුරෝපා සංගමය (රටවල් 27) සහ එක්සත් රාජධානිය වෙත නිෂ්පාදන කාණ්ඩ 6,000 කට අධික ප්‍රමාණයකට තීරු බදු රහිත (Zero-duty) සහ EU GSP+ සහ UKDCTS ප්‍රවේශ වීමට ඇති හැකියාව .ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම් සහ කලාපීය ගිවිසුම් වන APTA සහ SAFTA හරහා ලැබෙන බදු සහන මෙරට ආයෝජනයට විශාල පිටුවහලක් වන බව ආචාර්ය සුලක්ෂ ජයවර්ධන මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සිය ආර්ථික අර්බුදයේ අඳුරු පිටුව පෙරළා අවසන්ය. පරස්පර විරෝධී නොවන අන්‍යෝන්‍ය ශක්තීන් මත ගොඩනැඟුණු ශ්‍රී ලංකා–වියට්නාම හවුල්කාරිත්වය වඩාත් ගැඹුරු වීමට මින් පෙර කිසිදා නොවූ පරිදි පසුබිම සැකසී ඇත. දකුණු ආසියාව තුළ තම ව්‍යාපාරික පියසටහන පුළුල් කිරීමට සහ යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඉන්දියාව ඇතුළු ගෝලීය වෙළඳපොළවල් ජය ගැනීමට බලාපොරොත්තු වන වියට්නාම ආයෝජකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට මීට වඩා සුදුසු කාලයක් තවත් නැති බවත් දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම තව දුරටත් සාක්ෂාත් කර ගනිමින් වියට්නාම ආයෝජකයින්ට කලාපයේ වඩාත්ම හිතකර ආයෝජන ගමනාන්තය ශ්‍රී ලංකාව බව ආචාර්ය සුලක්ෂ ජයවර්ධන අවධාරණය කළේය.
Video Story