මහ බැංකුවේ තීරණයෙන් පසු භාණ්ඩාගාර බිල්පත් පොලියත් ඉහළට

    May, 27, 2026

    ඊයේ (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.

    ඒ අනුව,

    දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.18% සිට 9.36% ක් දක්වා පදනම් අංක 118කින්,

    දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 8.25% සිට 9.68%ක් දක්වා පදනම් අංක 143කින් සහ,

    දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 8.49% සිට 9.83%ක් දක්වා පදනම් අංක 134කින් ඉහළ ගොස් තිබේ.

    මෙවර වෙන්දේසිය සඳහා රු. මිලියන 140,000ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 172,345ක් වේ.

    කෙසේවෙතත් මෙහිදී පිළිගත් ලංසු ප්‍රමාණය රු. මිලියන 95,559ක් ලෙසින් වාර්තා වී ඇත.

    ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ ඊට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ද වැඩි වීමක් සිදුවනු ඇති බවයි.