May, 28, 2026
ශ්‍රී ලංකාවේ බැංකු අංශය ස්ථාවරව හා ආරක්ෂිතව පවතින බවත් මෑතකදී වාර්තා වූ හුදෙකලා මූල්‍ය වංචා හේතුවෙන් පාරිභෝගික තැන්පතු වල ආරක්ෂාවට හෝ මූල්‍ය පද්ධතියේ සමස්ත අඛණ්ඩතාවයට කිසිදු තර්ජනයක් නොවන බවත් සාමූහික සහ නිශ්චිත සහතිකයක් ලබා දී ඇත.
මෙරට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය තුළින් එවැනි සිදුවීම් වෙත දැඩි අවධානයක් යොමු වන බව පිළිගන්නා අතරම, මෙම කරුණු පිළිබඳව පුළුල් ලෙස සලකා බලන බවත්, මෙම අභියෝග කළමනාකරණය කිරීමට හා අවම කිරීමට, බැංකු අංශය හොඳින් සන්නද්ධ වී සිටින බවත් එම සංගමය ප්‍රකාශ කරයි.
මහජනතාවගේ අවධානයට තුඩු දුන් මූල්‍ය සහ සයිබර් වංචා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බැංකු සංගමය බැංකු ක්ෂේත්රයේ මූලික පදනමෙහි ශක්තිය, අඛණ්ඩ නියාමන අධීක්ෂණ සහ අවදානම් කළමනාකරණ රාමුවල ධාරිතාව, අවධාරණය කළේය.
“මූල්‍ය වංචා හා අන්තර්ජාලය ආශ්‍රිතව මෑත කාලයේ වාර්තා වූ සිදුවීම් වෙත මහජන අවධානය යොමු වී ඇත. කෙසේ වෙතත්, ක්ෂේත්රයේ නායකයින් හා නියාමකයින් අවධාරණය කරන්නේ බැංකු අංශය මූලික වශයෙන් ශක්තිමත්ව, නොසැලී සිටීමේ මනා හැකියාවෙන් යුක්තව, තම මූලික ස්ථාවරභාවයට හෝ පාරිභෝගික තැන්පතු වල ආරක්ෂාවට හානි නොකර එවැනි අභියෝගවලට මුහුණ දීමට හොඳින් සන්නද්ධ වී සිටින බව,” යැයි SLBA හි සභාපති සනත් මනතුංග මහතා පැවසීය.
ඔහු පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය තුළ පලවන බෙහෝ තොරතුරු නොමඟ යවන සුළු හෝ සාවද්‍ය බවත්, ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කිරීම් සම්බන්ධ වංචා ඇතුළු මෑත කාලීන සිදුවීම් කිහිපයක් හේතුවෙන් ඩිජිටල් ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කිහිපයක් මතු කර ඇති බවත් ය. කෙසේ වෙතත්, බැංකු විසින් පවත්වාගෙන යනු ලබන සැලකිය යුතු ආයතනික ස්වාරක්ෂක ප්රාග්ධනයට සාපේක්ෂව, මෙම සිදුවීම් නිසා වන පාඩු වලින් නියෝජනය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බව ඔහු පැවසුවේය. එහි වැදගත්කම වන්නේ, මහජන තැන්පතු වලින් තොරව, ආයතනික ස්වාරක්ෂක ප්රාග්ධනය පමණක් යොදාගෙන එවැනි පාඩුවීම් පියවා ගනිමින්, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සුරක්ෂිතව පවතින බවට තැන්පත්කරුවන්ට සහතික වීමේ හැකියාව බැංකු සතුව පවතින බව යැයි ඔහු අවධාරණය කළේය.
මෑත මාසවලදී වාර්තා වූ අනෙකුත් අන්තර්ජාලය සම්බන්ධ සිදුවීම්, එනම් තතුබෑම් නොහොත් රවටා තොරතුරු ගැනීම වැනි වංචා බැංකු ක්ෂේත්රයේ දුර්වලතාවක් නියෝජනය නොකරන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, මේ වන විට ලොව පුරා මූල්‍ය පද්ධති මුහුණ දෙන මෙවන් ඩිජිටල් තර්ජනවල, නිතර පරිණාමය වන හා වඩාත් සංකීර්ණ වෙමින් පවතින ස්වභාවය සැලකිල්ලට භාජනය කළයුතු බව ද ඔහු ප්‍රකාශ කළේය. වාර්තා වූ හුදෙකලා සිදුවීම් සමස්ත බැංකු ක්ෂේත්රය පුරා විහිදෙන ආකාරයේ පද්ධතිමය දුර්වලතාවක් පිළිබිඹු නොකරන බවද ඒ මහතා පැවසුවේය.
මෙම ස්ථාවරය තවදුරටත් සනාථ කරමින් සංගමය පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කර ඇති පරිදි සියලුම බලපත්‍රලාභී බැංකු විසින් නියම කර ඇති අවම නියාමන අවශ්‍යතාවලටත් වඩා වැඩියෙන් ප්රාග්ධනයේ ප්‍රමාණවත්භාවය සහ ද්‍රවශීලතා අනුපාත පවත්වාගෙන යන බවයි. මූල්‍ය පද්ධතියේ අඛණ්ඩ ස්ථාවරභාවය සහතික කරමින්, අවශ්‍ය වූ විට තාවකාලික ද්‍රවශීලතා සහය ලබා දීමට නියාමකයා ද සූදානම් බව ප්‍රකාශ කර තිබේ.
“ශ්‍රී ලංකාවේ බැංකු අංශය විසින් විවිධාංගීකරණය වූ ආයෝජන කළඹවල් සහ ශක්තිමත් පාලන රාමු මගින් සහය ලැබෙන රුපියල් ට්‍රිලියන ගණනක වත්කම් සාමූහිකව කළමනාකරණය කරයි. මෙවන් පරිමාණයේ ධාරිතාවයක්, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණ පිළිවෙත් සමඟ ඒකාබද්ධ වූ විට, මහජන විශ්වාසය නොකඩවා පවත්වා ගන්නා අතරතුර, බාහිර පරිසරයෙන් එන කම්පන අවශෝෂණය කර ගැනීම සඳහා ඉතාමත් ම ශක්තිමත් වූ පදනමක් සකස් කර දෙයි,” යනුවෙන් ද මනතුංග මහතා පැවසීය.
මීට සමගාමීව, බැංකු අංශය විසින් මෙලෙස නැගී එන තර්ජනවලට එරෙහිව තම ආරක්ෂක විධිවිධාන ද යුහුසුළුව ශක්තිමත් කරගනිමින් සිටී. ඒ අනුව බැංකු විසින් දියුණු තාක්ෂණයෙන් යුත් වංචා අවදානම් කළමනාකරණ පද්ධති (Fraud Risk Management Systems), දැඩි අධීක්ෂණ නීතිරීති පිහිටුවීම සහ ස්වාධීන මූල්‍ය විගණන වැනි ක්‍රමවේද සඳහා ආයෝජනය කිරීම මගින් අන්තර්ජාල ආරක්ෂණ රාමු අඛණ්ඩව වැඩි දියුණු කරයි. එසේම මෙම උත්සාහයන් බැංකු අංශය පුරා යහපාලනය, වගවීම හා විනිවිදභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන රජයේ අඛණ්ඩ නියාමනයන් හා පාර්ලිමේන්තු මුලපිරීම් වලට ද අනුකූල ව සිදුකරනු ලබයි.
පාරිභෝගික දැනුවත්භාවය ද ඉතා වැදගත් ආරක්ෂක පියවරක් බවට හඳුනාගනිමින් බැංකු විසින් ආරක්ෂිතව ඩිජිටල් සේවාවන් භාවිතා කිරීම පිළිබඳ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ද තීව්ර කර ඇත. මුරපද ආරක්ෂිතව භාවිතා කිරීම, තතුබෑම් නොහොත් රවටා තොරතුරු ගැනීමේ වංචා වැළැක්වීම, QR කේත හා අනෙකුත් ඩිජිටල් ගෙවීම් මෙවලම් ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ හා උපදෙස් එම වැඩසටහන් වලට ඇතුළත් වේ.
“ශ්‍රී ලංකාවේ බැංකු, මෙරට ආර්ථික ප්‍රගතියට නොමඳව තම සහය ලබාදෙන අතරතුර, ගනුදෙනුකරුවන්ගේ තැන්පතු ද ආරක්ෂා කරමින්, ස්ථාවරත්වයේ කුළුණු ලෙස අඛණ්ඩව තම මෙහෙවර ඉටු කරමින් සිටී. බැංකු අංශය විසින් තම ආරක්ෂණ ක්‍රමවේද තවදුරටත් වැඩිදියුණු කළද, පුද්ගලික වශයෙන් තමන්ගේ ඩිජිටල් භාවිතයන් පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටින ලෙස අපි ගනුදෙනුකරුවන්ගෙන් ද ඉල්ලා සිටිමු,” යනුවෙන් පවසමින් (SLBA) තම නිවේදනය අවසන් කළේය.
Video Story