May, 29, 2026
අද (29) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ කැපීපෙනෙන කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත්විය.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 111.57ක් ඉහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 27.81ක වර්ධනයක් සටහන් කර තිබුණි. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,310.80ක් හා S&P SL20 දර්ශකය ඒකක 6,159.15ක් ලෙසින් සටහන් විය.
අද දිනයේ දක්නට ලැබුණු කැපීපෙනෙන කරුණක් වූයේ රු. බිලියන 7.37ක සාපේක්ෂව ඉහළ ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමයි. ප්‍රධාන වශයෙන් HNB ෆිනෑන්ස් සමාගමේ වාර්තා වූ රු. බිලියන 3.52ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනු, දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදීමට සමත්ව තිබිණි. එහිදී කොටස් මිලියන 400ක් එකක් රු. 8.80 බැගින් හුවමාරු වී තිබෙන බව වාර්තා වේ. HNB ෆිනෑන්ස් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසින් මෙලෙස සිය කොටස් හිමිකාරීත්වය එහිදී අලෙවි කර තිබුණි. සාමාන්‍ය වෙළෙඳපොළ ගනුදෙනු ද ඇතුළුව HNB ෆිනෑන්ස් සමාගමේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස් ගනුදෙනු හරහා දිනය තුළ රු. බිලියන 4 ඉක්මවූ පිරිවැටුමක් සටහන්ව තිබූ අතර මීට අමතරව සොෆ්ට්ලොජික් ඉන්ෂුවරන්ස් සමාගමේ වාර්තා වූ රු. බිලියනය ඉක්මවූ ගිවිසා ගනු ලැබූ ගනුදෙනුව ද දෛනික පිරිවැටුමට සුවිශේෂී දායකත්වයක් ලබා දීමට සමත්විය.
කොමර්ෂල් බැංකුව, ඩයලොග් ආසියාටා, මෙල්ස්ටාකෝප්, ඇක්සෙස් ඉංජිනියරින්ග් සහ හේමාස් හෝල්ඩිංග්ස් යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයයට ඉහළ දායකත්වයක් දිනය තුළ ලැබී තිබුණි.

Video Story