සපුගස්කන්ද විදුලි බලාගාරයට ලිහිසි තෙල් සැපයීමේ කොන්ත්‍රාත්තු Lanka IOC සහ Chevron Lubricants වෙත

    June, 2, 2026

    සපුගස්කන්ද විදුලි බලාගාරයේ A බලාගාරය සහ B බලාගාරය වෙත 2026/27 කාලසීමාව වෙනුවෙන් ලිහිසි තෙල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ක්‍රියාත්මක කිරීම පිණිස 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 03ක් ලැබී තිබේ. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    • සපුගස්කන්ද විදුලි බලාගාරයේ A බලාගාරය වෙත ලිහිසි තෙල් ලීටර 316,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන Lanka IOC PLC වෙත රුපියල් මිලියන 392.47ක (එකතු කළ අගය මත බදු සහිත) මුදලකට පිරිනැමීම.
    • සපුගස්කන්ද විදුලි බලාගාරයේ B බලාගාරය වෙත ලිහිසි තෙල් ලීටර 304,000ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන Chevron Lubricants Lanka PLC වෙත රුපියල් මිලියන 434.86ක (එකතු කළ අගය මත බදු සහිත) මුදලකට පිරිනැමීම.