June, 8, 2026
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම විසින් ජනමාධ්‍ය නියෝජිතයන් සහ නිර්මාණකරණ වෘත්තිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද, ස්ත්‍රීපුරුෂ සමාජ භාවයට සංවේදී අන්තර්ගතයන් නිර්මාණය කිරීම පිළිබඳ වැඩමුළුවේ දෙවැනි අදියර 2026 මැයි 14 වන දින Cinnamon Lakeside හිදී පැවැත්විණි. ජෝන් කීල්ස් සමූහයේ සමාගම් සහ බාහිර සමාගම් රැසක නිර්මාණකරණ හා අලෙවිකරණ අංශවලට සම්බන්ධ වෘත්තිකයන් 44 දෙනෙක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
ජෝන් කීල්ස් පදනමේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන, ස්ත්‍රීපුරුෂ භාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය සහ ළමා අපයෝජනය පිටුදැකීම අරමුණු කරගත් Project WAVE යටතේ මෙය සංවිධානය කරන ලදි. එයට සහභාගී වූවන්ට, ස්ත්‍රීපුරුෂ සමාජ භාවයට සංවේදී ලෙස අන්තර්ගතයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් හිමි විය. The Grassrooted Trust විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී ප්‍රධාන තේමාවන් රැසක් සාකච්ඡා කිරීමටත්, ඒ සම්බන්ධ ක්‍රියාකාරකම්වල නිරත වීමටත්, පණිවිඩ, රූප හා විස්තර ආදිය මඟින් සමාජයීය ආකල්පවලට ඇති වන බලපෑම කෙබඳුද යන්න ගවේෂණය කිරීමටත් එයට සහභාගී වූවන්ට අවස්ථාව හිමි විය.
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ දැන්වීම්කරණ හා ප්‍රචාරණ සමාගම් සමඟ කටයුතු කිරීමේදී, ඇතැම් අන්තර්ගතයන් ස්ත්‍රීපුරුෂ භාවය සම්බන්ධ ගැටලුවලට සංවේදී නොවන බව පෙනී ගිය බවයි. මෙම තත්වය වෙනස් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන 2017 වසරේදී ආරම්භ කරන ලද බවත්, එමඟින් දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත් වී ඇති බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම වැඩසටහනට සහභාගී වූ අයෙකු කියා සිටියේ, රටේ ආකල්ප හැඩගස්වන සන්නිවේදන ක්‍රියාවලීන් මෙහෙයවන නිර්මාණකරණ හා අලෙවිකරණ වෘත්තිකයන් වෙනුවෙන් මෙබඳු වැඩසටහනක් පැවැත්වීම අතිශයින් කාලෝචිත බවයි.
2014 වසරේදී ආරම්භ වූ Project WAVE හි ක්‍රියාකාරකම් මඟින් මේ දක්වා මිලියන 6.5 කට අධික පිරිසක් ආවරණය වී තිබේ. එම ව්‍යාපෘතිය මඟින් ජෝන් කීල්ස් සමූහයේ කාර්ය මණ්ඩලය මෙන්ම පොලිස් නිලධාරීන්, නීතීඥවරුන්, විනිසුරුවරුන්, ගුරුවරුන්, පාසල් දරුවන්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ මහජනතාව වෙනුවෙන් වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත. මෙම මෙහෙවරෙහි කොටසක් වශයෙන් ජෝන් කීල්ස් පදනම විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ විමර්ශන මෘදුකාංගයක් සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලද අතර, මෙම මෘදුකාංගය හේතුවෙන් එම කාර්යකයේ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම වී තිබේ.
අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වකරුවන් වෙනුවෙන් පවත්වන මෙවැනි වැඩසටහන් ඔස්සේ ජෝන් කීල්ස් පදනම කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි අපරාධ වැළැක්වීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ (නව වර්ගීකරණය අනුව) වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය මාර්ග, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට” පිළිබඳ දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.


Video Story