Allianz Lanka වෙතින් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක්

    June, 10, 2026

    Allianz Lanka සමාගම ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ තවත් එක් පියවරක් ලෙස, දිවයින පුරා පිහිටි ස්ථාන 60කට ආසන්න සංඛ්‍යාවකදී ත්‍රිරෝද රථ රියදුරන් 7,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් ස්ටිකර් දැන්වීම් ආශ්‍රයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා සාර්ථකව නිම විය.

    දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමේදී ත්‍රිරෝද රථ රියදුරන් ශ්‍රී ලංකාවේ ජනජීවිතයට අත්‍යවශ්‍ය සේවාවක් සපයන අතර, එය බොහෝ ප්‍රජාවන්ගේ ආර්ථික ස්ථාවරත්වයට ද සෘජුවම දායක වේ. මෙම පුළුල් භූමිකාව හඳුනාගත් Allianz Lanka සමාගම, වගකීම් සහගත රිය පැදවීම සහ අනතුරු වළක්වා ගැනීම පිළිබඳ අර්ථවත් මෙන්ම ක්‍රියාකාරීව දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.

    මෙම ප්‍රචාරක ව්‍යාපාරයේ මූලික පණිවිඩය වූයේ “ජීවිතයට 1, අනතුරට තිත!” (வாழ்க்கைக்கு 1, விபத்துக்கு முற்றுப்புள்ளி) යන්නයි. රියදුරන්ට ජීවිතයේ වටිනාකම සිහිපත් කරමින්, අනතුරු වළක්වා ගැනීම සඳහා වගකීම් සහගත මෙන්ම අවධානයෙන් යුත් රිය පැදවීමේ වැදගත්කම මෙම පණිවිඩය හරහා අවධාරණය කෙරිණි.

    මෙම වැඩසටහනේ තවත් වැදගත් අංගයක් ලෙස, ඊට සහභාගී වූ රියදුරන් වෙනුවෙන් වසරක කාලයක් සඳහා වලංගු නොමිලේ රක්ෂණ ආවරණයක් ලබාදීමට Allianz Lanka සමාගම කටයුතු කළේය. දීර්ඝ වේලාවක් මාර්ගයේ රැඳී සිටින රියදුරන්ට අමතර සුරක්ෂිතතාවක් ලබාදීම මෙහි අරමුණ විය.

    රියදුරන් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන මගින්, මාර්ග ආරක්ෂාව පිළිබඳ පණිවිඩය ප්‍රායෝගිකව ජනතාව අතරට ගෙන යාමට සමත් විය. වගකීම් සහගත රිය පැදවීම, අනතුරු වළක්වා ගැනීම සහ ජීවිතය ආරක්ෂා කිරීම පිළිබඳ පණිවිඩය ඇතුලත් රථවාහනවල ඇලවූ ස්ටිකර් දැකීම තුලින් රියදුරන් එය අනුගමනය කිරීමට පෙළඹවීමක් ඇති කරයි.

    රක්ෂණ සේවාවන්ට පමණක් සීමා නොවී, ජනතාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වෙනුවෙන් ප්‍රායෝගික පියවර ගනිමින්, Allianz Lanka ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව ශක්තිමත් කිරීමට අඛණ්ඩව දායක වේ.  එමෙන්ම සෑම ගමනකදීම ඔබේ ආරක්ෂාවට මුල් තැන දීමට Allianz Lanka කැප වී සිටියි.

    Allianz Insurance Lanka Ltd යනු, ජර්මනියේ මියුනිච් නුවර මූලස්ථානය කරගත් Allianz SE හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. රක්ෂණ සහ වත්කම් කළමනාකරණය යන ක්ෂේත්‍රවල ගෝලීය ප්‍රමුඛයෙකු වන Allianz SE, Interbrand හි ‘Best Global Brands’ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අඛණ්ඩව හත්වන වසරටත් ලොව අංක 01 රක්ෂණ සන්නාමය ලෙස ඇගයීමට ලක්ව තිබේ.