ඩිජිටල් අධ්‍යාපනය තුළින් අනාගත පරපුරේ හැකියාවන් වර්ධනය කරමින් නවෝත්පාදකයන් බලගැන්වීමේ මෙහෙවරක

    June, 11, 2026

    SLT-MOBITEL සහ STEMUP Educational Foundation අඛණ්ඩව 6 වන වරටත් Code Club වැඩසටහන වෙනුවෙන් අත්වැල් බැඳගනී

    SLT-MOBITEL යළිත් වරක් Code Club වැඩසටහන පැවැත්වීම සඳහා STEMUP Educational Foundation සමඟ අත්වැල් බැඳගෙන සිටී. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක ප්‍රජා-මූලික ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් අතරින් එකක් ලෙස සැලකේ. 6 වන වරටත් අලුත් කෙරුණු මෙම හවුල්කාරීත්වය දිවයින පුරා සිසු සිසුවියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී.

    SLT-MOBITEL හි ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතා සහ STEMUP Educational Foundation හි නිර්මාතෘ ප්‍රභාත් මාන්නප්පෙරුම මහතා විසින් ගිවිසුමට අත්සන් තබන ලදී. අනාගත ලෝකයේ පදනම සකස්  වන්නේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයන් තුළින් බව SLT-MOBITEL විශ්වාස කරයි. Code Club වැඩසටහන සැලසුම් කර ඇත්තේ මෙම විෂයන් ඒකාබද්ධ කරමින්, අනාගතයට නායකත්වය දීම සඳහා අවශ්‍ය විශ්වාසය ශ්‍රී ලාංකික තරුණ තරුණියන් තුළ ඇතිකරවීමේ අරමුණිනි.

    මෙම වැඩසටහනේ 2026 අදියර අප්‍රේල් මාසයේදී වැලිසර පිහිටි SLT-MOBITEL Nebula Institute of Technology හිදී සහ දිවයින පුරා මහජන පුස්තකාල 20 කදී ආරම්භ විය. රට පුරා වෙසෙන සිසුන්ට ඩිජිටල් අධ්‍යාපන සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කරමින් ඔවුන්ට මෙම වැඩසටහන තුළින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙලෙස දිස්ත්‍රික්ක කිහිපයක මහජන පුස්තකාල වලදීද මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    වැඩසටහනේ ඵලදායීත්වය වැඩිදියුණු වන ආකාරයට මෙහි විෂය මාලාව අලුතින් සකස් කර තිබේ. නව විෂය මාලාව මඟින් ගෝලීය තාක්ෂණ ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අභිලාෂයන් සඳහා අතිශයින් වැදගත් වන කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, උසස් ඩිජිටල් නවෝත්පාදන සංකල්ප සහ නව නිපුණතා සිසුන්ට හඳුන්වා දෙනු ලබයි. එබැවින් මෙම වැඩසටහනට සහභාගී වන සිසුන් තුළ තාක්ෂණික දැනුම පමණක් නොව, ගැටලු විසඳීමේ හැකියාව සහ නවෝත්පාදනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන පර්යේෂණ පදනම් කරගත් තර්ක බුද්ධියද වර්ධනය වනු ඇත.

    මෙම වැඩසටහන හරහා තරුණ තරුණියන් හුදෙක් කේත(code) ලිවීමට පුහුණු කරනු වෙනුවට තර්කානුකූලව සිත මෙහෙයවීම සඳහා ඔවුන් යොමු කරවමින්, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දීමේ ශක්තිය ඔවුන් තුළ ඇතිකරවීමේ වැදගත්කම SLT-MOBITEL සෑම විටම අවධාරණය කර තිබේ. වසර 6 ක් පුරා මෙම හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීම මඟින් පෙනී යන්නේ, මෙම වැඩසටහනේ අරමුණු යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා SLT-MOBITEL දැඩි ලෙස කැප වී සිටින බවයි.

    මෙම හවුල්කාරීත්වය ආරම්භ වී ගෙවුණු වසර 5 තුළ සිසු සිසුවියන් සිය ගණනක් Code Club වැඩසටහනට සහභාගී වී තිබේ. එම අවස්ථාව නොලැබුණේ නම් මේ අතරින් ඇතැම් සිසුන්ට කිසි දිනක රොබෝ තාක්ෂණ කට්ටල හෝ AI ආකෘති දැකගැනීමට පමණක් නොව, මෙවැනි විධිමත් හා සහයෝගී පරිසරයක් තුළ උසස් STEM අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව පවා හිමි නොවීමට ඉඩ තිබිණි. අතීතයේ පටන්ම ඩිජිටල් අවස්ථා සීමා වූ ප්‍රජාවන්ට මෙම වැඩසටහන මඟින් ඉටුවනුයේ සුවිශාල මෙහෙවරකි. මෙමඟින් එම ප්‍රජාවන් තුළ වෙසෙන දක්ෂයන්ට නවීන ලෝකයේ අවස්ථා හඹා ගොස් ග්‍රහණය කරගැනීමට හැකි වී ඇත.

    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන්, ඩිජිටල් අධ්‍යාපන අවස්ථා සැමට විවෘත කිරීමේ ප්‍රයත්නය SLT-MOBITEL සමාගමේ මෙහෙවරෙහි අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු අතරින් අංක 4 (ගුණාත්මක අධ්‍යාපනයක්), අංක 9 (කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්) සහ අංක 17 (තිරසාර සංවර්ධනය සඳහා හවුල්කාරීත්වයන්) යන අරමුණු සමඟද සමපාත වන්නකි. එමෙන්ම මෙවැනි වැඩසටහන් ඔස්සේ විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී ප්‍රජාවන් ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් මුහුණ දී සිටින අඩුපාඩුකම් මඟහැරවීම, ජාතික සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීමෙහි ලා අතිශයින් වැදගත් බවද  SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි.