ආහාර මිල පහළ යාමෙන් අගෝස්තු උද්ධමනය පහළට

    September, 22, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූලි මාසයේ දී යාර්තා කළ සියයට 5.8 හි සිට 2016 අගෝස්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේය. 2016 අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2016 ජූලි මස වාර්තා වූ සියයට 3.4 හි සිට 2016 අගෝස්තු මස දී සියයට 3.6 දක්වා ඉහළ ගියේය.

    ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සැලකූ විට 2016 ජූලි මාසයේ දී වාර්තා වූ දර්ශක අංක 115.2 සිට 2016 අගෝස්තු මාසයේ දී දර්ශක අංක 113.3 දක්වා සියයට 1.6 ක අඩුවීමක් වාර්තා වේ. මෙම අඩුවීම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් පහළ යාම ප්‍රධාන වශයෙන් හේතුවිය. එළවළු, අමුමිරිස්, සීනි, පොල්, වියළි හාල්මැස්සන්, සහල්, පරිප්පු සහ රතු ළූණු මිල ගණන් මාසය තුළ දී පහළ ගියේය.
    ආහාර නොවන කාණ්ඩය තුළ සෞඛ්‍ය, සන්නිවේදන සහ විනෝදාත්මක හා සංස්කෘතික යන උපකාණ්ඩයන් හි මිල ගණන් 2016 අගෝස්තු මාසය තුළ දී පහළ ගියේය. රෙදිපිළි හා පාවහන්, ගෘහ භාණ්ඩ, ගෘහ උඵකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, ප්‍රවාහන, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගණන් 2016 අගෝස්තු මාසය තුළ දී ඉහළ ගියේය. මේ අතර මධ්‍යසාර පාන හා දුම්කොළ උප කාණ්ඩයෙහි මිල ගණන් 2016 අගෝස්තු මාසය තුළ දී ඉහළ ගියේය. කෙසේ වුවද අධ්‍යාපන උප කාණ්ඩය මාසය තුළ දී නොවෙනස්ව පැවතුණි.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූලි මස පැවති සියයට 6.8 සිට 2016 අගෝස්තු මස වන විට සියයට 6 දක්වා පහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය ජාතික පාරිභෝගික මිල දර්ශකය මූලික උද්ධමනය 2016 ජූලි මස වාර්තා වූ සියයට 5.5 හි සිට 2016 අගෝස්තු මස වන විට සියයට 5.6 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.