රබර් තාක්ෂණික ශිල්පීන්ට ඉන්දියාවේදී පුහුණුව

    September, 23, 2016

    රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු තාක්ෂණික ශිල්පීන් සඳහා විදේශිය පුහුණු පාඨමාලා තුළින් නවීන තාක්ෂණික දැනුම ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඒ අනුව සැප්තැම්බර් 26 දා සිට ඔක්තෝබර් 2 දක්වා ඉන්දියාවේ කොචින් විද්‍යා හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී තෝරාගත් රබර් ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණික ශිල්පීන් 25 ක් සඳහා මෙම තාක්ෂණීක පුහුණු පාඨමාලාව පැවැත්වේ. දකුණු ආසියාවේ රබර් තාක්ෂණය සඳහා පළමු ස්ථානය හිමිවන කොචින් විද්‍යා හා තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් පවත්වන මෙම පාඨමාලාව සඳහා සහභාගිවන තාක්ෂණික ශිල්පීන් හට ගුවන් ටිකට්පත් ප්‍රදානය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අද කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී සිදු කෙරිනි.

    ශ්‍රී ලංකාවේ රබර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය තුල සුදුසුකම් ලැබූ තාක්ෂණික ශිල්පීන් අඩු කම හා කර්මාන්තයේ යෙදී සිටින තාක්ෂණික ශිල්පීන්ටද නවීන තාක්ෂණික දැනුම නොමැති වීම රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මුහූණ පාන ප්‍රධාන ගැටළු ලෙස හදුනාගත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මෙලෙස ක්ෂේත්‍රයේ නියුතු තාක්ෂණික ශිල්පීන් හට විදේශිය පුහුණු පාඨමාලා පැවැත්වීමට කටයුතු යොදා ඇත.