දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ VIDEO

    September, 29, 2016

    මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී වාර්තා වූ ආර්ථික වර්ධන වේගය පිලිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. ආර්ථික වර්ධනය මන්දගාමී වීමට නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් බලපා තිබෙන බව අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් සැසඳීම සඳහා පාදක කර ගන්නා 2015 දෙවන කාර්තුවේ දී වාර්තා වූ වර්ධන වේගය 7% ක ඉහළ අගයයක් ගැනීම හේතුවූ බවත් ඊට අමතරව ගංවතුර සහ නියඟ තත්ත්වයන් කෘෂිකර්මාන්ත අංශය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේම පැවති ගංවතුර තත්ත්වය කර්මාන්ත අංශය කෙරහි ද අහිතකර ලෙස බලපා තිබෙන බව ද මෙහිදී අනාවරණය විය.

    “කෘෂිකර්මාන්ත හා කර්මාන්ත දෙඅංශයම ගංවතුරේ බලපෑමට ලක්වුණා. ඒ වගේම නියඟයේ බලපෑමට කෘෂි අංශය ලක්වුණා. පළමු කාර්තුවේ දී 5.2% ක් සහ දෙවන කාර්තුවේ දී 2.6% ක් ලෙස ආර්ථික වර්ධන වේගය වාර්තා වුවද මාගේ මතය වන්නේ දෙවන කාර්තුවේ දචී එය ඊට වඩා වැඩි අගයයක් ගත යුතු බවයි“, යනුවෙන් අධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

    එසේම මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 5 ක් හෝ ඊට වඩා සුළු වශයෙන් ඉහළ අගයයක් ගනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2015 වසරේ දෙවන කාර්තුවේ වාර්තා කරන ලද සියයට 7 ක වර්ධනයට සාපේක්ෂව 2016 දෙවන කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6 කින් වර්ධනය වී ඇතැයි තාවකාලිකව ඇස්තමේන්තු කර ඇත. මේ අතර 2016 වසරේ පළමු කාර්තුව තුළ ආර්ථික වවර්ධනය සියයට 5.2 ක් ලෙස සංශෝධනය කර ඇත.

    https://www.youtube.com/watch?v=d1Ahv894RV4