නවීන විශේෂාංග රැසකින් සමන්විත නවතම Ather Scooters, Colombo EV Motor Show 2026 ප්‍රදර්ශනයේදී ඉහළම ජනතා ආකර්ෂණය දිනාගත් වගයි

    July, 16, 2026

    Electric Scooter සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Ather Energy, තම බලයලත් බෙදාහරින්නා වන Evolution Auto හා එක්ව, මෙරට විද්‍යුත් වාහන වෙළෙඳ පොළේ තම  නාමය ප්‍රබල ලෙස රැඳවීමට සමත්ව සිටී. ඒ, උසස් තාක්ෂණය සමගින්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් සහ ආකර්ෂණීය නිමාවෙන් ශ්‍රී ලාංකිකයින් අතට පත් වන Ather Scooter, මඟමහ "Super Scooter" ලෙසින් වන පාරිභෝගික පිළිගැනීමද දිනාගන්නා අතරය.

    අනාගත වාහන ගැනුම්කරුවන් හා වාහනවලට කැමති මෙරට ජනතාව ඒකරාශී කරමින් තෙදිනක් පුරා පැවැත්වුණු, Colombo EV Motor Show 2026 ප්‍රදර්ශනයේදී, Ather සහ Evolution Auto ඉදිරිපත් කළ Ather 450X මාදිලියේ ස්කූටර් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කෙරිණි. ඒ, එම මාදිලියේ සන්නිවේදන තාක්ෂණය මෙන්ම ඉංජිනේරුමය විශිෂ්ටත්වයද එහි පැමිණි සුවහසක් ජනතාවට අත්විඳීමට හැකියාව සලසමිනි. ඉහළම ප්‍රමිතියේ විද්‍යුත් වාහන සඳහා ශ්‍රී ලංකාවේ පවතින අධික  ඉල්ලුමත්, එදිනෙදා භාවිතයේ පහසුව සඳහා නවීන තාක්ෂණය ඇතුළත් නිෂ්පාදන කෙරෙහි ජනතාව‌ගේ උනන්දුවත්, ප්‍රදර්ශනයේදී ලද ජනතා ආකර්ෂණය තුළින් මනාව තහවුරු වේ.

    මහමඟ  ධාවනයට වඩාත්ම ගැළපෙන නවීනතම විශේෂාංග සමගින් තම නිෂ්පාදන වැඩිදියුණු කිරීම කෙරෙහි නිරන්තර අවධානය විදහා දක්වමින්, Ather සමාගම ලාංකිකයින්ගේ එදිනෙදා ගමන් බිමන් වඩාත් සුවපහසු සහ කාර්යක්ෂම කිරීමට නවතම විශේෂාංග හඳුන්වාදෙනු ලැබිණි. ඒ අනුව, පාරිභෝගිකයින්ට විශ්වාසයෙන් යුතුව, පහසු හා සුමට ධාවන අත්දැකීමකට එක්වීම සඳහාම, 'Infinite Cruise' සහ 'Magic Twist' යන නවතම  විශේෂාංග දෙක මෙම ස්කූටර් මාදිලියට එක්කර තිබේ.

    විශේෂයෙන්, දිගු ගමන්වලදී හෝ අධික රථවාහන තදබදයක් පවතින අවස්ථාවලදී නියත වේගයක් පවත්වා ගනිමින්, පහසුවෙන්ම ධාවනය කිරීමට හැකියාව සැලසීමේ අරමුණෙන් 'Infinite Cruise' විශේෂාංගය ඒකාබද්ධ කර තිබේ. කලබලකාරී නාගරික පරිසරයක ස්කූටර් ධාවකයින්ගේ තෙහෙට්ටුව  අවම කරමින්, පාලනයකින් යුත් ගමනක වඩාත් සැහැල්ලුවෙන් නිරත වීමට ඉන් හැකි වේ.

    'Magic Twist™' තාක්ෂණය මගින්, ධාවනය අතරතුර ස්කූටරයේ throttle පසුපසට කරකැවීමෙන් පමණක් එහි වේගය අඩු කළ හැකි අතර, ඒ හේතුවෙන් දිනපතා ගමන් බිමන් අතරතුර, තිරිංග භාවිත කිරීමට ඇති අවශ්‍යතාවයද අඩු වේ. මෙහිදී, ස්කූටරයේ වේගය අඩු කිරීම සිදුවන්නේ, එහි විද්‍යුත් මෝටරය මගිනි. සාමාන්‍ය පද්ධතිවලට වඩා වෙනස් වූ Magic Twist™ තාක්ෂණය මඟින් තිරිංග යෙදීමෙන්  තොරව, ස්කූටරය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි වේ. බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වී ඇති අවස්ථාවලදී පවා, මෙම ක්‍රමයට වේගය අඩුකර ගත හැකි අතර, එමගින් වාහන නොනවත්වා ධාවනය කළ නොහැකි, තදබදය ඇති මාර්ගවල ගමන් බිමන්, සුවපහසු අත්දැකීමක් බවට පත් කරයි.

    මෙම ප්‍රදර්ශනයට විශේෂත්වයක් එක්කරමින්, Ather 450X ස්කූටර් මාදිලියේ බැටරි පද්ධතිය සහ එහි ඇලුමිනියම් චැසිය ජනතාවට ප්‍රදර්ශනය කෙරිණි. ඒ අනුව, එහි ඉංජිනේරුමය විශිෂ්ටත්වය සමීපව අත්දැකීමට ඔවුන්ට හැකි වූ අතර, ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව මෙන්ම කල්පැවැත්මට ඉවහල් වන බැටරි සැකැස්ම, චැසි නිමාව ඇතුළුව, එහි ගුණාත්මකභාවය පිළිබඳ සුවිශාල අවබෝධයක් ලබාදෙමින්, එහි ප්‍රධාන අංග පිළිබඳව පැහැදිලි  කරන ලදී.

    Colombo EV Motor Show ප්‍රදර්ශනය පැවති දින තුන පුරා, නවතම Ather 450X ස්කූටරය දැක බලාගැනීමටත්, එහි ඇති ස්මාර්ට් විශේෂාංග සහ මහමඟ ධාවනයේදී ඇති වාසි පිළිබඳව දැනගැනීමටත් ජනතාවට හැකි විණි. එහිදී පාරිභෝගිකයින්ට සමීප Evolution Auto කණ්ඩායම විසින් ජනතා විමිසීම්වලට පිළිතුරු ලබාදෙන ලදී. එමෙන්ම, එම ස්කූටර්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය, සුවිශේෂී හැකියාවන් සහ මිලදී ගැනීම සම්බන්ධයෙන්ද පුළුල් අවබෝධයක්ද ලබාදෙන ලදී.

    ජනතාව‌ගේ නොමඳ ආකර්ෂණය සහ ධනාත්මක ප්‍රතිචාර මධ්‍යයේ ප්‍රදර්ශනය අතිසාර්ථකව නිමාවට පත් වූයේ, ශ්‍රී ලාංකේය වෙළෙඳපොළේ Ather නාමය කෙරෙහි දිනෙන් දින වර්ධනය වන ජනතා ප්‍රසාදයද ඉන් තහවුරු කරමිනි. ලද ඉහළ ජනතා ප්‍රතිචාර පිළිබඳව තම ප්‍රසාදය පළ කළ Evolution Auto, දිවයින පුරා Ather Electric Scooters පිළිබඳව ප්‍රචලිත කරමින්, එම ස්කූටර් රට පුරා පාරිභෝගිකයින්ට පහසුවෙන් මිලදී ගැනීමට හැකියාව සලසන බවද  තහවුරු කරන ලදී. ප්‍රදර්ශනයට නොපැමිණි  පාරිභෝගිකයින්ට, ඉදිරියේදී දිවයින පුරා Ather Experience Centre වලින්, ළඟම මධ්‍යස්ථානයකට පිවිස, Infinite Cruise™ සහ Magic Twist™ විශේෂාංග ඇතුළත් Ather 450X ස්කූටරය දැකබලා ගැනීමටද හැකිය.

    ශ්‍රී ලංකාව තිරසාර ප්‍රවාහන ක්‍රමවේද වෙත අඛණ්ඩව ගමන් කරන මෙම වකවානුවේ, නිෂ්පාදන නවෝත්පාදන හා පාරිභෝගික කේන්ද්‍රීය අත්දැකීම් පිරිනමන අතරම, Evolution Auto හා එක්ව, විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ අනාගතය හැඩරුව වෙනස් කරන සුවිශේෂී කාර්යභාරයකට Ather සූදානමින් සිටී.