අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්

    September, 30, 2016

    සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වින. සංවිධාන කමිටු සමාජිකයින්, අනුකමිටු සාමාජිකයින් හා අනුග‍්‍රාහක භවතුන් ඊට එක්ව සිටි අතර තවත් මසකින් පැවැත්වීමට නියමිත එම සමුළුවේ සංවිධාන කටයුතු හා එහි වත්මන් තත්ත්වය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

    ’‘මෙම සමුළුව රජයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන දැවැන්තම කර්තව්‍යයන් අතරින් එකක්. අප නිවැරදි මාර්ගය ඔස්සේ යමින් ජාත්‍යන්තර මට්ටමින් මෙම සම්මන්ත‍්‍රණයේ සංවිධාන කටයුතු ඉතා විශිෂ්ට අන්දමින් සංවිධානය කර තිබෙනවා’’ යනුවෙන් එහි ප‍්‍රගතිය විමසා බලමින් අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සඳහන් කළේය. හමුව පැවැත්වෙන දිනය දක්වා කාලය තුළ සමුළුව සඳහා ජාත්‍යන්තර සාමාජිකයින් 361දෙනෙකු සහ දේශිය සාමාජිකයින් 282නෙකු ලියාපදිංචිව සිටි අතර ඉදිරි මාසය තුලදී එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

    2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුව ඔක්තෝබර් මස 12වැනිදා සහ 13වැනිදා යන දින දෙක පුරා පැවැත්වේ. ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම සමුළුවේ මෙවර තේමාව වී තිබෙන්නේ ‘‘සාර්ථකත්වය වෙනුවෙන් වෙළෙඳාම - සම්බන්ධතාවය, තරඟකාරිත්වය, වෙනස’’ යන්නයි. දේශකයින් 44දෙනෙකු එහිදී සිය දේශන පවත්වනු ලබන අතර ඉන් 32නෙකුම විදේශිය දේශකයින් වේ. ප‍්‍රතිපත්ති සම්පාදකයින්, වෙළෙඳ විශේෂඥයින්, වෙළෙඳ විශ්ලේෂකයින් සහ සුප‍්‍රකට ව්‍යාපාරිකයින් ඊට ඇතුළත්ව සිටියි. ඊට සමඝාමීව වෙළෙඳ ප‍්‍රදර්ශනයක් ද පැවැත්වෙන අතර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය තුළ වෙළෙඳ කුටි 48ක් ඒ වෙනුවෙන් ස්ථාපිත කරනු ලබන බවද සාකච්ඡාවේ දී අනු කමිටු මගින් දැනුම් දෙන ලදී.

    DFCC බැංකුව සමුළුවේ බැංකු සහකරු ලෙස කටයුතු කරන අතර Brandix සමාගම ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ප්ලැටිනම් අනුග‍්‍රාහක ලෙස කටයුතු කරනු ලබයි. 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුව සඳහා රන් අනුග‍්‍රාහකයින් ලෙස එක්ස්පොලංකා හෝල්ඩින්ග්ස් සහ ලින්ක් නැචුරල් යන සමාගම් කටයුතු කරනු ලැබේ. නෙස්ලේ ලංකා පී එල් සී, ඩයලොග් ආසිආටා පී එල් සී සහ CIC හෝල්ඩින්ග්ස් රිදී අනුග‍්‍රාහකයින් ලෙස එක්ව කටයුතු කරනු ලබයි. නිල ගුවන් සේවා අනුග‍්‍රාහක ලෙස මෙරට ජාතික ගුවන් සේවාව වන ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම කටයුතු කරන අතර තොරතුරු තාක්ෂණ සහයෝගිතාවය සපයනු ලබන්නේ EWIS සමාගමයි. විජය පුවත්පත් සමාගම දේශිය පුවත්පත් සමාගම ලෙස අත්වැල් බැඳ සිටියි.

    එම සාකච්ඡාවේ දී අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සමුළුව සඳහා අනුග‍්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් එම සමාගම් වෙත සිය කෘතඥතාවය පිරිනමන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ‘‘ රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙලෙස ජාත්‍යන්තර සමුළුවක් වෙනුවෙන් එක්ව සහයෝගිතාවයෙන් කටයුතු කරන අයුරු දක්නට ලැබීම ඉතා සතුටට කරුණක්. මුලූ ලොවක් අප දෙස බලා සිටින අවස්ථාවක එය වඩාත් සාර්ථකව ඉටු කිරීමට මෙම සහයෝගිතාවය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව අප මතකයේ තබා ගත යුතුය. සමුළුවේ සාර්ථකත්වය මත තවදුරටත් අපට එවැනි විශේෂ අවස්ථා උදාකර ගත හැකි අතර ඒ වෙනුවෙන් අප කැපවීමෙන් කටයුතු කළ යුතුයි’’ යනුවෙනි.
    ඊට අමතරව අන්තර් වශයෙන් ව්‍යාපාර සමඟ සබඳතා පවත්වාගෙන යාම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ද එහිදී පැවැත්වින. ලියාපදිංචි සමාගම් රැසක් දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථා සහ සහයෝගිතා ගොඩනගා ගැනීමට එකඟත්වය පළ කරන ලදී. සංචාරක, තොරතුරු තාක්ෂණ හා තොරතුරු සන්නිවේදන, ඇඟලූම් සහ වඩාත් වැදගත් සාධකයක් වන නිෂ්පාදන අංශයේ විකිණුම් සහ ගැණුම්කරුවන් රැසකට එකට මුණ ගැසීමේ අවස්ථාව මෙම සාකච්ඡාවේ දී උදා විය.

    මේ වන විට ශී‍්‍ර ලාංකේය සමාගම් 100ක් මෙම ව්‍යාපාර සබඳතා වෙනුවෙන් පැවැත්වෙන හමුවට ලියාපදිංචි වී සිටියි. අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි ජාත්‍යන්තර ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව 62ක් වන අතර එහි අවසන් ඉලක්කගත සංඛ්‍යාව 50කි. ඊට අමතරව තොරතරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත‍්‍රය යටතේ ජාත්‍යන්තර ගැණුම්කරුවන් 50දෙනෙකුට වැඩි පිරිසකගේ සහභාගිත්වය අපෙක්ෂා කරන අතර මේ වන විටත් ඒ සඳහා 32නෙකු ලියාපදිංචිව සිටියි.

    සාකච්ඡාවට එක් වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මිය සඳහන් කළේ ‘‘ සමුළුව සදහා දැනටමත් ලියාපදිංචි වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ අප ඉතාමත් සතුටට පත් වනවා. ඉන් පෙනී යන්නේ ශී‍්‍ර ලංකාව ආයෝජන සඳහා වඩාත් මිත‍්‍රශීලි රටක් ලෙස පිළිගෙන ඇති බවයි. ඒ අනුව අප එය ජාත්‍යන්තරය වෙත එය තහවුරු කරමින් අපගේ සාර්ථකත්වය විදහා දැක්වීමට මෙය අවස්ථාවක් කරගත යුතුය’’ යනුවෙනි.

    මෙම හමුවේ දී සමුළුවේ පූර්ව ප‍්‍රචාරණ කටයුතු, සැලසුම් හා සංවිධාන කටයුතු පිළිබඳ කරුණු රැසක් ද සාකච්ඡාවට බදුන් විය.