October, 7, 2016
පාරිභෝගිකයින්ගේ නොමඳ ආදරය දිනාගත් නෙක්ටෝ, ක්රීම්සෝඩා සහ ඔරේන්ජ් බාර්ලි යන සිසිල්බීම නිෂ්පාදන ලීටර් 1.5 ක ප්රමාණයේ පෙට් ප්ලාස්ටික් බෝතල්වල ඇසිරීම හා එවැනි බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා එලිෆන්ට් හවුස් සමාගම එංගලන්තය පදනම් කරගත් බෝතල් නිෂ්පාදන සමාගමක් සමග ගිවිසුමකට එළඹ ඇත.
මෙම නව ගිවිසුම මගින් ශ්රී ලංකාවේ ප්රමුඛතම සිසිල්බීම නිෂ්පාදකයා අරමුණු කර තිබෙන්නේ යුරෝපීය වෙළඳපොළට අපනයනය කරන එලිෆන්ට් හවුස් සිසිල්බීම නිෂ්පාදන ඉතාමත් ඉක්මනින් වැඩිකිරීම වන අතර මේ තුළින් ස්විට්සර්ලන්තය, ප්රංශය, ඉතාලිය සහ ජර්මනිය යන රටවල වෙළඳපොළවල් වෙත සිදුකරන අපනයන කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන සඳහා යුරෝපීය වෙළඳපොළට එලිෆන්ට් හවුස් සිසිල්බීම බෙදාහැරීමේ නිළ නියෝජිතයා ලෙස ක්රියා කරන යුනිවර්සල් සප්ලයර්ස් ලිමිටඞ් සමාගමේ සහයෝගය හිමිව ඇත.
එලිෆන්ට් හවුස් සිසිල්බීම යුරෝපීය වෙළඳපොළේ වසර 13 කට වැඩි කාලයක් අඛණ්ඩව වර්ධනයක් පෙන්වා තිබෙන අතර මෙම නව ගිවිසුම මගින් එම වර්ධනය තව තවත් ඉහළ නංවනු ඇත. මේ වනවිට, එලිෆන්ට් හවුස් සිසිල්බීම එංගලන්තය, ස්විට්සර්ලන්තය, ප්රංශය, ජර්මනිය, නොර්වේ, ඉතාලිය, බෙල්ජියම, ඩෙන්මාර්කය, චෙක් ජනරජය යන රටවලට අපනයනය කරයි. මීට අමතරව, මැදපෙරදිග, චීනය, ඉන්දියාව සහ කොරියාව යන රටවලටද මෙම නිෂ්පාදන අපනයන කරයි.
මේ අතර, එලිෆන්ට් හවුස් සිසිල්බීම නිෂ්පාදන එංගලන්ත වෙළඳපොළ තුළ කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබෙන අතර වෙළඳපොළ කොටස අනුව එරට පළමු සහ දෙවන සුපිරි වෙළඳසැල් ජාලය වන ටෙස්කෝ (Tesco) සහ වෝල්මාර්ට් සමාගමට අයත් අස්ඩා (Walmart-owned Asda) යන සුපිරි වෙළඳසැල්වල මෙම නිෂ්පාදන අලෙවි කරයි.
‘‘අපනයන වර්ධනය අනුව සැලකූ විට යුරෝපය තමයි අපගේ ඊළඟ විශාල පිම්ම. අපි විසින් ඉදිරිපත් කරන නිෂ්පාදන මාලාව පුළුල් කරමින් මෙම අරමුණ ජයගැනීමට අපි ක්රියාකරනවා. මේ අනුව, ඉදිරි මාස කිහිපයේදී විශාල ප්රතිලාභ ලබාගනිමින් මෙම අරමුණ ජයගත හැකියැයි අපට විශ්වාසයි. විශේෂයෙන්ම යුරෝපීය පාරිභෝගිකයින් නෙක්ටෝ, ක්රීම්සෝඩා සහ ඔරේන්ජ් බාර්ලි නිෂ්පාදන වෙනුවෙන් මේ වනවිටත් දක්වන ඉහළ කැමැත්ත මේ සඳහා සහයෝගයක් ලබාදෙනවා.’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සිලෝන් කෝල්ඞ් ස්ටෝර්ස් පී.එල්.සී. සමාගමේ සිසිල්බීම අංශයේ ප්රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ උප සභාපති දමින්ද ගම්ලත් මහතා පැවසීය.