August, 24, 2026
ශ්‍රී ලාංකේය විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීමට ලක්කෙරෙන විශිෂ්ටතම සම්මාන උළෙල නැවතත් වේදිකාවට
කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) විසින් සංවිධානය කරනු ලබන මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික ඇගයීම් වැඩසටහන වන WCIC ප්‍රතිභාභිෂේක - කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල 2026 සඳහා අයදුම්පත් භාරගැනීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙරට මෙන්ම සාර්ක් (SAARC) කලාපය පුරා විසිරී සිටින විශිෂ්ට කාන්තා ව්‍යවසායිකාවන්ට මෙම කීර්තිමත් සම්මාන උළෙල සඳහා අයදුම් කිරීමට මෙයින් ආරාධනා කෙරේ.
පසුගිය වසරවල ලබාගත් විශිෂ්ට සාර්ථකත්වය පෙරදැරිව සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙල මගින්, නවෝත්පාදනය, නායකත්වය සහ නොපසුබස්නා උත්සාහය තුළින් තම ව්‍යාපාර සාර්ථකත්වයට පත්කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබාදෙන කාන්තාවන් ඇගයීමට ලක්කෙරේ.
මෙම නිල ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ (WCIC) සභාපතිනී ගයානි ද අල්විස් මහත්මිය මෙසේ පැවසුවාය:
"ක්ෂේත්රයන් තුළ නව පරිවර්තනයන් ඇති කරමින්, රැකියා උත්පාදනය කරමින් සහ ජාතික ආර්ථිකය බලගන්වමින් කැපී පෙනෙන මෙහෙවරක නියැලෙන කාන්තා ව්‍යවසායිකාවන් ඇගයීම උදෙසා වෙන්වූ මෙරට ප්‍රමුඛතම වේදිකාව බවට WCIC ප්‍රතිභාභිෂේක වැඩසටහන පත්ව තිබෙනවා. 2026 අදියර ආරම්භ කරන මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේම සිටින කාන්තා ව්‍යවසායිකාවන්ට තම සාර්ථකත්වයේ ගමන රට හමුවේ තබමින් ඊළඟ පරම්පරාවේ ව්‍යාපාරික නායකයින් දිරිගැන්වීමට එක්වන ලෙස අප ආරාධනා කරනවා. පසුගිය වසරවල ජයග්‍රාහිකාවන්ගේ සාර්ථකත්වයේ පූර්වාදර්ශ තුළින් පැහැදිලි වන්නේ මෙම ඇගයීම ඔවුන්ගේ ව්‍යාපාරවල ඉදිරි ගමනට කෙතරම් ප්‍රබල ශක්තියක් වූවාද යන්නයි."
පසුගිය සම්මාන උළෙල සඳහා දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින්, විවිධ තරාතිරමේ ව්‍යාපාර අතුරින් අයදුම්පත් 100 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. එහිදී විශිෂ්ටතම ජයග්‍රාහිකාවන් උදෙසා පිරිනමන ප්‍රධාන සම්මාන, කාණ්ඩ මට්ටමේ සම්මාන, පළාත් මට්ටමේ සම්මාන සහ විශේෂ ඇගයීම් සම්මාන ඇතුළුව සම්මාන 47 ක් පිරිනමන ලදී. මෙය මෙරට ව්‍යාපාරික කාන්තාවන් ඇගයීමේ ප්‍රමුඛතම සහ ජාතික මිනුම්දණ්ඩ ලෙස ප්‍රතිභාභිෂේක සම්මාන උළෙල සතු පිළිගැනීම තහවුරු කරයි.
සංවිධායක කමිටුව වෙනුවෙන් එහි සම-සභාපතිනියන් වන නිලානි සෙනෙවිරත්න සහ වත්සලා වික්‍රමනායක යන මහත්මීන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළහ:
"වසරින් වසර මෙරට කාන්තා ව්‍යවසායිකාවන්ගේ සහභාගීත්වය ඉහළ යාම තුළින් පෙන්නුම් කරන්නේ ව්‍යාපාරික ක්ෂේත්රය තුළ ශ්‍රී ලාංකේය කාන්තාවන් සතු විශ්වාසය සහ අභිලාෂයන් තවදුරටත් වර්ධනය වන බවයි. ප්‍රතිභාභිෂේක යනු හුදෙක් ජයග්‍රහණ ඇගයීමක් පමණක් නොව, ව්‍යවසායිකාවන්ට නව වෙළඳපොළ පිළිගැනීමක්, විශ්වසනීයත්වයක්, වටිනා සබඳතා ජාලයන් සහ අනාගත වර්ධනයන් සඳහා නව අවස්ථාවන් උදාකර දෙන සුවිශේෂී ප්‍රවේශයක්. එම නිසා නැගී එන ආරම්භක ව්‍යාපාර (Start-ups) සිට ස්ථාපිත මහා පරිමාණ ව්‍යාපාර දක්වා වූ සියලුම කාන්තා නායකත්වයෙන් යුතු ව්‍යාපාරවලට මෙවර සම්මාන උළෙල හා එක්වන ලෙස අප ආරාධනා කර සිටිනවා."
මෙවර සම්මාන උළෙල සඳහා ආරම්භක (Start-up), ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ මහා පරිමාණ යන ව්‍යාපාරික කාණ්ඩ යටතේ අයදුම්පත් කැඳවනු ලබයි. කාණ්ඩ මට්ටමේ සම්මානවලට අමතරව, විශිෂ්ටතම අයුරින් දක්ෂතා දක්වන අයදුම්කාරිනියන් අතුරින් තේරී පත්වන සුවිශේෂී ජයග්‍රාහිකාවන් වෙනුවෙන් විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමෙන අතර, උළෙලේ උච්චතම අවස්ථාව ලෙස 'වසරේ විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාව 2026' සම්මානය පිරිනැමීමට නියමිතය.
ඊට අමතරව, පළාත් මට්ටමින් කාන්තා ව්‍යවසායකත්වය ඇගයීමට ලක්කිරීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ජාත්‍යන්තර කාණ්ඩය යටතේ සාර්ක් (SAARC) කලාපයේ කාන්තා ව්‍යවසායිකාවන්ට ද තරග වැදීමට අවස්ථාව සලසා දී ඇත.
කැමැත්තක් දක්වන අයදුම්කාරිනියන්ට තමන් කැමති භාෂාවකින් www.wcicsl.lk නිල වෙබ් අඩවිය වෙත පිවිස අයදුම්පත බාගත කරගත හැකි අතර, WCIC කාර්යාලය වෙතින් ද සෘජුවම අයදුම්පත් ලබාගත හැක. සම්පූර්ණ කරන ලද අයදුම්පත්, අවශ්‍ය සනාථ කිරීමේ ලේඛන ද සමඟින් ඉදිරියේදී දැනුම් දෙනු ලබන අවසාන දිනයට පෙර භාරදිය යුතුය.
WCIC PRATHIBHABHISHEKA 2026 සඳහා AIA Insurance සමාගම ප්ලැටිනම් සහකරු ලෙසත්, DFCC ආලෝකා ඩයමන්ඩ් / නිල බැංකු සහකරු ලෙසත්, McLarens Group සමාගම ගෝල්ඩ් සහකරු ලෙසත් අනුග්‍රහය දක්වයි. තවද Hayleys PLC, Maliban සහ Unilever Arunella යන ආයතන සිල්වර් සහකරුවන් ලෙසත්, Impra Teas සහ Pidilite යන ආයතන බ්‍රෝන්ස් සහකරුවන් ලෙසත් මෙම වැඩසටහන හා අත්වැල් බැඳගෙන සිටී.
මෙරට ව්‍යාපාරික කාන්තාවන් නියෝජනය කරන ජාතික මණ්ඩලය ලෙස කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC), නීතිමය සහ උපදේශනාත්මක සහාය, සබඳතා ගොඩනැගීම, සාමර්ථ්‍ය වර්ධනය සහ ඇගයීම් හරහා කාන්තා ව්‍යවසායකත්වය සවිබලගැන්වීමට අඛණ්ඩව කැපවී සිටියි. එහි ප්‍රමුඛතම ජාතික මෙහෙවර ලෙස 'ප්‍රතිභාභිෂේක' සම්මාන උළෙල, රටේ ව්‍යාපාරික ක්ෂේත්රයේ නව පිටුවක් පෙරළන සුවිශේෂී කාන්තාවන්ගේ ඇගයීම වෙනුවෙන් අඛණ්ඩව පෙරමුණ ගෙන සිටියි.
වැඩිදුර තොරතුරු සඳහා අමතන්න: 076 6848080


Video Story