August, 25, 2026
ඉන්දික ද සොයිසා විසිනි
අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ නොපෙනෙන අනාගතයකට ගැලපෙන පරිදි ඊළඟ පරපුර සූදානම් කිරීම වුවද, තාක්ෂණික දියුණුවත් සමඟ ඉගෙනීමේ ක්රමයන් පිළිබඳ අදහස් වෙනස් විය යුතුව ඇත. ජාත්‍යන්තර තරුණ දිනයේදී බොහෝ දෙනා කතා කරන්නේ තරුණ අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව වෙනුවෙන් සමාජ මාධ්‍ය සීමා කිරීමට ද සාකච්ඡා වෙමින් පවතී. ඒවා කෙතරම් වැදගත් වුවද ඩිජිටල් අවකාශයන් හරහා වර්තමාන දරුවන් ලබාගන්නා නව ඉගෙනුම් අවස්ථා පිළිබඳවද අවධානය යොමු කිරීමද අද දවසේ අත්‍යාවශ්‍ය කරුණක් වනු නිසැකය.
ඩිජිටල් අවකාශයන් තරුණ පරපුරේ ප්‍රධාන අංගයක් වෙමින් පවතින අද දවසේ ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා එමඟින් ලැබෙන දායකත්වය කෙරෙහි අප ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු කර තිබේද? යන්න ගැටලුවකි. අධ්‍යාපනය යනු පාසල් පන්ති කාමරයකට පමණක් සීමා වූවක් නොවේ. වර්තමානයේදී ඩිජිටල් මාධ්‍ය හරහා තරුණ පරපුර වෙනුවෙන් සපයනු ලබන දැනුම අප්‍රමාණය.
#LearnOnTikTok වැනි සමාජ මාධ්‍ය හැෂ්ටැග් හරහා දිනපතා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් වෘත්තීයවේදීන්ගෙන් ප්‍රායෝගික දැනුම ලබාගන්නා අතර, එය ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය ^OECD& පවසන පරිදි ජීවිත කාලය පුරාම කුසලතා සංවර්ධනයට වැදගත් වේ.
සමාජ මාධ්‍ය දැනුම දියුණු කරන අයුරු
සමාජ මාධ්‍ය හුදෙක් විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් අලුත් දෑ සෙවීම, නිර්මාණශීලීත්වය සහ ඉගෙනීම සඳහා භාවිත වන්නකි. ඊට කදිම උදාහරණයක් ලෙස TikTok සඳහන් කළ හැකිය. විද්‍යාව, සාහිත්‍යය, ව්‍යාපාරික දැනුම සහ මූල්‍ය සාක්ෂරතාවය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම නොමිලේ බෙදාගන්නා සහ ස්වභාවිකවම ඉගෙනීම සිදුවන කණ්ඩායම් මේ තුළ බිහිවී ඇත. වගකීම් සහගතව, නිවැරදි ආරක්ෂක ක්‍රමවේද, දෙමාපිය මඟපෙන්වීම් සමඟින් TikTok භාවිත කළ හැකි නම් ඉන් ලැබෙන දැනුම ඉතා විශාලය.
අද වන විට තරුණ පරපුරට විවිධ ක්ෂේත්රවල සැබෑ ප්‍රවීණයන් සහ වෘත්තීයවේදීන් සමඟ සෘජුවම සම්බන්ධ වීමට ඒ හරහා අවස්ථාවක් ලැබී ඇත. TikTok හි #LearnOnTikTok, #STEMTok සහ #BookTok වැනි ඩිජිටල් එකතුවන්ගෙන් පෙනෙන්නේ තරුණ පරපුර දැනුම ලබාගන්නා ආකාරය විශාල ලෙස වෙනස් වී ඇති බවයි.
ඩිජිටල් සමාජ මාධ්‍ය ජාලයන් ද මෙම අධ්‍යාපනික වෙනස දැන් හොඳින් වටහාගෙන ඇත. උදාහරණයක් ලෙස, TikTok අධ්‍යාපනික වීඩියෝ සුළු දෙයක් ලෙස නොබලා, එවැනි ඉගෙනුම් ප්‍රජාවන් දියුණු කිරීම සඳහා සෘජුවම ආයෝජනය කර තිබේ. ඉගෙනීම තවදුරටත් එකම එක විෂයකට, එක පන්ති කාමරයකට හෝ එක් ගුරුවරයෙකුට පමණක් සීමා වූවක් නොවන බව ඒ තුලින් මනාව පැහැදිලි වේ.
අධ්‍යාපනයේ හෙට දවස
අනාගත ලෝකය සම්පූර්ණයෙන්ම කල්තියා අනුමාන කළ නොහැකි වුවද, වත්මන් පරපුර ඒ සඳහා සූදානම් වෙමින් පවතී. මෙහි සිදුවී ඇති ප්‍රධානම වෙනස නම්, ඉගෙනීම යන්න තවදුරටත් අධ්‍යාපන ආයතනවලට හෝ කාලසටහන්වලට පමණක් සීමා නොවීමයි. එය තමන්ගේම කුතුහලයෙන් හැඩගැසෙන, පහසුවෙන් තොරතුරු ලබාගත හැකි, සහ පන්ති කාමරයෙන් බොහෝ ඔබ්බට විහිදුණු ඩිජිටල් ප්රජාවන්ගෙන් පෝෂණය වන අඛණ්ඩ ක්‍රියාවලියකි. අපි ජාත්‍යන්තර තරුණ දිනය සමරන මෙවැනි මොහොතක, සමාජ මාධ්‍ය අධ්‍යාපනයට අයිතිද නැද්ද යන්න පිළිබඳ තර්ක කිරීමෙන් ඔබ්බට යා යුතුය. මන්ද එය දැනටමත් අධ්‍යාපනයේ කොටසක් වී අවසන්ය.
අප ඉදිරියේ ඇති සැබෑ ප්රශ්නය නම්, ඉගෙනීම පිළිබඳ අප සතු සාම්ප්‍රදායික වැටහීම පුළුල් කිරීමට අප සූදානම්ද යන්නයි. පාසල් අධ්‍යාපනය සැමවිටම මෙහි මූලික පදනම වනු ඇත. නමුත් හෙට දවස සඳහා තරුණ පරපුර සූදානම් කිරීම යනු, ඔවුන් තුළ කුතුහලයක් ඇති කරන, ප්‍රවීණයන් සමඟ සම්බන්ධ කරන සහ ජීවිත කාලය පුරාම ඉගෙනීමට දිරිගන්වන වගකීම් සහගත ඩිජිටල් අවකාශයන්හි වටිනාකම පිළිගැනීමයි. අධ්‍යාපනයේ අනාගතය තීරණය වන්නේ පන්ති කාමරය සහ තාක්ෂණය යන දෙකෙන් එකක් තෝරාගැනීමෙන් නොව, ඒ දෙකම එකිනෙකාට සහයෝගයෙන් එක්ව ක්‍රියා කරන්නේ කෙසේද යන්න වටහා ගැනීමෙනි.
(කර්තෘ - ශ්‍රී ලංකා පරිගණක සමාජයේ (Computer Society of Sri Lanka) උප සභාපතිවරයායි)
Video Story