August, 25, 2026
මන්නාරම් ද්‍රෝණියේ 2026 ශ්‍රි ලංකා ඛනිජ තෙල් ගවේෂණ බලපත්‍ර පිරිනැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (25) පෙරවරුවේ දෙමටගොඩ ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී අවස්ථාව, බලශක්ති සහ වරාය සිවිල් ගුවන්සේවා අමාත්‍යය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍යය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය ධම්මික තන්ත්‍රිගොඩ, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S ද රාජකරුණා යන මහත්වරුන් ද බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ අවස්ථාව නියෝජනය කළහ.
මෙහිදී ජාත්‍යන්තර බලශක්ති සමාගම් සඳහා ගවේෂණ කටයුතු සිදු කිරීමට වර්ගකිලෝමීටර් 34,000 කට ආසන්න ප්‍රදේශයක් ආවරණය වන පරදි මන්නාරම් ද්‍රෝණියේ බිම් කොටස් හතරක් පිරිනැමීමට නියමිතය.
මෙම අවස්ථාවේදී ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා, මන්නාරම් ද්‍රෝණියේ මෙතෙක් සොයාගෙන ඇති තෙල් සහ ගෑස් සම්පත්වල වර්තමාන තත්ත්වය පැහැදිලි කිරීම සිදු කළේය. මීට ඉහත සිදු කරන ලද ගවේෂණවලදී ස්වාභාවික වායු (LNG) සහ ද්‍රව සොයාගැනීමට හැකිවීම තුළින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් පවතින බවට තහවුරු වී තිබුණි. සාපේක්ෂ වශයෙන් ගත් කළ තවමත් විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගවේෂණ සිදු කර නොමැති බැවින්, නවීන භූ ගවේෂණ හා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ දත්ත එකතු කිරීමට සහ ගවේෂණ සිදු කිරීමට ජාත්‍යන්තර සමාගම් සඳහා අවස්ථාව උදා වන බව ද ප්‍රකාශ විය. දැනට අධිකාරිය සතු මන්නාරම් ද්‍රෝණියේ භූ විද්‍යාත්මක දත්ත පරිශීලනයට ද අවස්ථාව ලබා දෙන බව නීල් ද සිල්වා මහතා සඳහන් කළේය. එමෙන්ම මෙම මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් බැරල් බිලියන 2ක් සහ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09ක ප්‍රමාණයක් කැණීම් වලින් ලබාගැනීමට හැකි වෙතැයි දැනට ඇති දත්ත වලින් අනුමාන කරන බව ද ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක මහතා, බලශක්ති සංවර්ධනය සඳහා රජය වැදගත් පියවර රාශියක් ඉදිරියට සිදු කරමින් සිටින බැවින් මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ කටයුතු ද සිදු කිරීමට හා දිගුකාලීන හවුල්කරුවෙකු වශයෙන් සම්බන්ධ වීමට පළපුරුදු ජාත්‍යන්තර සමාගම් වලට විවෘත ආරාධනාවක් කර සිටියේය.
මේ සම්බන්ධව ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන 2026 සැප්තැම්බර් මස 29 සහ 30 දිනවල ලන්ඩන් නුවර පැවැත්වෙන ලෝක බලශක්ති සමුළුවෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
Video Story