September, 1, 2026
ශ්‍රී ලංකාවේ ලෝකප්‍රකට දිඹුල තේ වගා කලාපයේ, මුහුදු මට්ටමේ සිට අඩි 4,500ත් 5,000ත් අතර උසකින් පිහිටි ස්ටෝනික්ලිෆ් වතුයාය (Stonycliff Estate), මෙරට උසස් තත්ත්වයේ කළු තේ නිෂ්පාදනයේ දිගුකාලීන උරුමය අදත් අඛණ්ඩව ඉදිරියට ගෙන යන සුවිශේෂී වතුයායකි. කොටගල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (Kotagala Plantations PLC) සහ කොළඹ ෆෝට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිං (CFLB) සමූහයේ ප්‍රමුඛ වතුයායක් වන ස්ටෝනික්ලිෆ්, ලොව ඉහළම තත්ත්වයේ කළු තේ නිෂ්පාදකයෙකු ලෙස ශ්‍රී ලංකාව ගොඩනගාගත් කීර්තිනාමය හා සියවස් ගණනාවක් පුරා පැවතෙන තේ කර්මාන්ත උරුමය අතර නොබිඳුණු සබඳතාවක් නියෝජනය කරයි.
ශ්‍රී ලංකාවේ තේ වගාව මුල්වරට ව්‍යාප්ත වූ ප්‍රදේශ අතර නුවරඑළිය දිඹුල ප්‍රදේශයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එම පරිවර්තනයට මූලික වූයේ 1870 දශකයේදී මෙරට කෝපි කර්මාන්තය බිඳ වැටීමයි. එතෙක් මධ්‍යම කඳුකරයේ වතු ආර්ථිකයේ ප්‍රධාන ධාවකය වූ කෝපි වගාව, කොළ කොඩවීමේ රෝගය හෙවත් coffee leaf rust වසංගතයෙන් දැඩි ලෙස විනාශ වීමත් සමඟ වතුකරයේ නව විකල්ප බෝගයක් සෙවීමේ අවශ්‍යතාව මතුවිය. ජේම්ස් ටේලර් විසින් ලූල්කඳුර වතුයායේ අත්හදා බැලීමක් ලෙස ආරම්භ කළ තේ වගාවට එවකට වසර තුනක් පමණක් ගතව තිබූ අතර, “සිලෝන් ටී” පළමු තොගය ලන්ඩන් වෙළෙඳපොළට ළඟා වීමට තවත් වසර තුනක් ඉතිරිව තිබුණි. එහෙත් ඒ වන විටත් ස්ටෝනික්ලිෆ් වතුයාය සිය මෙහෙයුම් ආරම්භ කර තිබීම, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ආරම්භක යුගය සමඟ එහි ඇති ගැඹුරු ඓතිහාසික සම්බන්ධතාව පැහැදිලි කරයි.
තලවකැලේ , පතන උප වැවිලි කලාපයට අයත් ස්ටෝනික්ලිෆ් වතුයාය, ශ්‍රී ලංකාවේ Western High Grown හෙවත් බටහිර කඳුරට තේ කාණ්ඩයට අයත් ප්‍රමුඛ වතුයායකි. වසර 156කට පෙර, එනම් 1870දී, කෝපි සහ ක්විනීන් ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කළ සින්කෝනා (Cinchona) වගා කරන වතුයායක් ලෙස මෙය ආරම්භ විය. ස්ටෝනික්ලිෆ් වතුයායේ පළමු හිමිකරු වූයේ ශ්‍රීමත් ග්‍රේම් එච්.ඩී. එල්ෆින්ස්ටෝන් (Sir Graeme H.D. Elphinstone) වන අතර, ඔහු 1870 සිට 1883 දක්වා වතුයායේ හිමිකාරීත්වය දැරීය. අඛණ්ඩ මෙහෙයුම් වසර සියයක් සපුරන ස්ටෝනික්ලිෆ් තේ කර්මාන්ත ශාලාව ද මෙරට තේ කර්මාන්ත ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සමඟ බැඳී පවතී. කර්මාන්ත ශාලාව ඉදිකළ 1925 වසරේදීම, එවකට ලංකා ව්‍යවස්ථාදායකය විසින් Tea Research Ordinance හෙවත් තේ පර්යේෂණ ආඥාපනත සම්මත කරමින් තේ පර්යේෂණ ආයතනය (Tea Research Institute) පිහිටුවනු ලැබීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අත්කරගත් විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රගතියට මූලික පදනම සපයා දුන්නේ ද මෙම ආයතනයේ පර්යේෂණ කටයුතුය.
‘පිරිසිදු සිලෝන් ටී’ උරුමයේ ආරම්භයට බැඳුණු පුරෝගාමී නාමයක්
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ආරම්භක ඉතිහාසය සොයා යන විට ශ්‍රීමත් ග්‍රේම් එච්.ඩී. එල්ෆින්ස්ටන් යන නාමය නැවත නැවතත් හමුවෙයි. ඓතිහාසික වාර්තා අනුව, ශ්‍රී ලංකාවේ තේ වගාව වාණිජ කර්මාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ ජේම්ස් ටේලර් සහ ඒ.එම්. ෆර්ගියුසන් වැනි නාමයන් සමඟම එල්ෆින්ස්ටන්ගේ දායකත්වයද සැලකිය යුතු ස්ථානයක් හිමි කර ගනී.
මුලින් කෝපි වගාකරුවෙකු වූ ඔහු, කෝපි කර්මාන්තය බිඳවැටීමත් සමඟ තේ වගාවට යොමු වූ පුරෝගාමී වතුකරුවෙකුද විය. එපමණක් නොව, තේ බීජ වාණිජ වශයෙන් අලෙවි කිරීමේ ආරම්භකයකු ලෙසද ඔහු සැලකේ. එවකට නව තේ වගාබිම් සඳහා ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ යද්දී, පේරාදෙණිය සහ හක්ගල උද්භිද උද්‍යානවලින් ලබාගත හැකි රෝපණ ද්‍රව්‍ය ප්‍රමාණය ප්‍රමාණවත් නොවීය. එවැනි අවස්ථාවක වගාකරුවන්ට අවශ්‍ය තේ බීජ සැපයීම මගින් එල්ෆින්ස්ටන් මෙරට තේ වගාවේ වේගවත් ව්‍යාප්තියට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය.ඔහුගේ දායකත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවීය. 1880 දශකයේදී එල්ෆින්ස්ටන් රුසියාව පුරා විශාල සංචාරයක නිරත විය. එවකට රුසියාව තුළ තේ පානය දෛනික ජීවිතයේ හොඳින් මුල් බැස තිබුණද, එරට තේ සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ චීනය මත රඳා පැවතුණි.
එල්ෆින්ස්ටෝන් සිය රුසියානු සංචාරය පිළිබඳව තැබූ සටහන්වල, ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ දැඩි ශීතල, රුසියානු තේහල්වලදී ඔහු රසවිඳි තේවල රසය පිළිබඳ ඇති වූ පුදුමය මෙන්ම, අවසානයේදී සිලෝන් තේවල ගුණාත්මකභාවය ලෝක වෙළෙඳපොළ ජයගනු ඇතැයි ඔහු තුළ තිබූ දැඩි විශ්වාසයද සඳහන් වේ. එවකට ලංකාවේ වතුකරුවෙකු තම නිෂ්පාදනය යුරෝපයේ ප්‍රධාන නගර වෙත ගොස් පුද්ගලිකව ප්‍රවර්ධනය කිරීම සාමාන්‍ය දෙයක් නොවූවත්, එල්ෆින්ස්ටෝන් එම විශ්වාසය ක්‍රියාවට නංවමින් තමන්ම සංචාරය කර නව වෙළෙඳපොළ සොයා ගියේය.
බාහිර ලෝකය දෙස විවෘතව බැලීම, වෙනස්වන තත්ත්වයන්ට අනුව හැඩගැසීම සහ ‘පියුර් සිලෝන් ටී’ හි ගුණාත්මකභාවය නව වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමට නව මාර්ග සොයා බැලීමේ එම ආකල්පය, ස්ටෝනික්ලිෆ් වතුයායේ ආරම්භයේ සිටම පැවති සුවිශේෂී ලක්ෂණයක් විය.
ආරම්භයේදී අසල්වැසි වතු කොටස් තුනක එකතුවක් ලෙස පැවති ස්ටෝනික්ලිෆ් වතුයාය, සියවසකට අධික කාලයක් පුරා සිදුවූ වෙනස්කම්, ඒකාබද්ධ කිරීම් සහ කළමනාකාරීත්ව මාරුවීම් හරහා කොටගල ප්ලාන්ටේෂන්ස්හි ඉතිහාසගතම වතුයායන්ගෙන් එකක් බවට පත්ව ඇත. මුලින් ස්ටෝනික්ලිෆ් , ස්ප්‍රිංකල් සහ තැප්‍රොබේන් යන කොටස්වලින් සමන්විත වූ වතුයාය, පසුව අසල පිහිටි රොසිටා වතුයායෙහි ප්‍රසිද්ධ ලොක්හිල් සහ රොසිටා කොටස් දෙකද එක් කිරීමත් සමඟ තවදුරටත් පුළුල් විය. කලක් George Steuart & Co. යටතේ කළමනාකරණය වූ එම කොටස් ස්ටෝනික්ලිෆ් සමඟ ඒකාබද්ධ වීමෙන්, ක්‍රමවත් ලෙස පේළිගත වූ තේ වගා බෑවුම් එකම විශාල වතු භූමියක් ලෙස සම්බන්ධ විය.
ස්ටෝනික්ලිෆ් වතුයායේ කළමනාකරණ ඉතිහාසයද ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික පරිවර්තනයන් සමඟ සමීපව බැඳී පවතී. Whittall Boustead සමාගම 1975 දක්වා වතුයාය කළමනාකරණය කළ අතර, එම වසරේ සිදුකළ වතු ජනසතුකරණයත් සමඟ එහි පාලනය ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත පැවරුණි. 1992 දී ආරම්භ වූ වතු පෞද්ගලීකරණ ක්‍රියාවලිය සමඟ නැවතත් George Steuart & Co. වෙත කළමනාකරණ වගකීම පැවරුණු අතර, 1996 වන විට CFLB සමූහයට සම්පූර්ණයෙන් අයත් Lankem Tea & Rubber Plantations (Pvt) Ltd සමාගම, Kotagala Plantations PLC සඳහා කළමනාකරණ නියෝජිතයා ලෙස කටයුතු කිරීම ආරම්භ කළේය.
කාලයත් සමඟ ස්ටෝනික්ලිෆ් වතුයායේ භූමි සීමාවන්ද වෙනස්කම්වලට ලක්විය. 1994 වසරේදී හෙක්ටයාර් 73.50කින් සමන්විත VP තේ වගාවක් එනම් හොඳ තේ වගාවකින් ලබා ගන්නා දඬු සහ අතුවලින් පැළකර ගන්නා තේ පඳුරු සහිත වගාවක් වූ ලොක්හිල් කොටස, මේ ෆීල්ඩ් වතුයාය වෙත පවරන ලදී. අද වන විට ස්ටෝනික්ලිෆ් වතුයාය සුවිශේෂී කොටස් හතරකින් සමන්විත වේ. ඒ අනුව ස්ටෝනික්ලිෆ් කොටස හෙක්ටයාර් 76.25ක්, ස්ප්‍රිංකල් හෙක්ටයාර් 105.25ක්, තැප්‍රොබේන් කොටස හෙක්ටයාර් 28.00ක් සහ Rosita හෙක්ටයාර් 88.50ක් ආවරණය කරයි. සමස්තයක් ලෙස හෙක්ටයාර් 298.00ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී ඇති මෙම වතුයාය, ඉතිහාසය, වගා තාක්ෂණය සහ වාණිජ කටයුතු එකම හරිත තේ වතුයායක් තුළ එකට බැඳෙන සුවිශේෂී වැවිලි පරිසරයක් නිර්මාණය කර ඇත.
තේ වගාවට අමතරව, ස්ටෝනික්ලිෆ් වතුයාය තුළ තවමත් පූර්ණ පරිණතභාවයට නොපැමිණි දැව වගාවන් සඳහා වෙන් වූ හෙක්ටයාර් 13.40ක භූමි ප්‍රමාණයක්ද පවතී. එම වගාවන් අනාගතයේදී දැව අස්වැන්න ලබාගැනීමේ ධාරිතාව තවදුරටත් වර්ධනය කිරීමට දායක වේ.
එමෙන්ම, වතුයාය තුළ පරිණත දැව වගාවන් හෙක්ටයාර් 119.35ක් ද පවතින අතර, එය ආසන්න හා මධ්‍යකාලීන නිෂ්පාදන හැකියාව සඳහා ස්ථාවර පදනමක් සපයයි.
දිඹුල තේ කෝප්පයක විශිෂ්ටත්වය ගොඩනගන භූගෝලීය දේශගුණය සහ කාලගුණය
සිලෝන් ටී ඉතිහාසයේ ස්ටෝනික්ලිෆ් වතුයායට හිමි සුවිශේෂී ස්ථානය ගොඩනැගීමට එය පිහිටි භූගෝලීය පරිසරය විශාල ලෙස බලපා ඇත. උස, පස සහ කාලගුණය එකිනෙකට සම්බන්ධ වන මෙම ස්වභාවික සංයෝගය, දිඹුල තේවලටම ආවේණික ගුණාත්මකභාවය නිර්මාණය කරයි.
මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙම ප්‍රදේශය නිරිතදිග මෝසම් වැසිවල දැඩි බලපෑමට ලක්වේ. එහෙත් වසරේ ඉතිරි කාලයේදී, විශේෂයෙන්ම පළමු කාර්තුවේදී, කාලගුණය සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. දිවා කාලයේදී සිසිල් හා වියළි සුළං ධාරා වතුකරය පුරා පැතිරෙන අතර, රාත්‍රියේදී දැඩි සිසිලස සහ සුළං සහිත තත්ත්වයක් ඇතිවේ.
බටහිර ගුණාත්මක සමය
මෙම සුවිශේෂී කාලගුණ තත්ත්වය ලෝක තේ කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රකට “Western Quality Season” හෙවත් බටහිර ගුණාත්මක සමය ලෙස හැඳින්වේ.
දිඹුල තේ කලාපය ලෝක වෙළෙඳපොළේ ප්‍රසිද්ධියට පත් කළ විශිෂ්ට තේ නිෂ්පාදනය සිදුවන්නේ මෙම සමයේදීය. එම කාලයේ නිෂ්පාදනය වන තේ කෝප්පය පැහැදිලි වර්ණයකින්, ප්‍රබල හා ප්‍රබෝධමත් රසයකින් මෙන්ම, එක් උගුරකින් පසු තවත් උගුරක් රසවිඳීමට ඉඩ සලසන නැවුම් හා පිරිසිදු පසු රසයකින් ද කැපී පෙනේ.
එම වතුයායන්හිම, එම තේ පඳුරුවලින්ම මෝසම් වැසි සමයේදී නිෂ්පාදනය වන තේ සාපේක්ෂව සැහැල්ලු සහ අඩු සුවිශේෂී රසයකින් යුක්ත වේ. වෙනස ඇති කරන්නේ වගාව හෝ තේ පඳුරුවල ස්වභාවය නොව, සම්පූර්ණයෙන්ම සෘතුමය කාලගුණ වෙනස ය. ලෝක තේ වෙළෙඳපොළේ “දිඹුල” යන නාමයට හිමි විශේෂ වටිනාකමට මෙයද ප්‍රධාන හේතුවකි.
කඳුකර තේවල ස්ථාවර ගුණාත්මකභාවය
ස්ටෝනික්ලිෆ් වතුයාය පිහිටා ඇත්තේ දිඹුල තේ කලාපයේ උස පරාසයේ ඉහළ කොටසකය. එම නිසා බටහිර ගුණාත්මක සමයේ හිතකර කාලගුණික තත්ත්වයන් වතුයායට දැඩිව සහ පැහැදිලිව බලපායි.
මෙම ස්වභාවික වාසිය, වතුයායේ තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන හැකියාව සමඟ එක්ව, වසරෙන් වසර ස්ථාවර ගුණාත්මකභාවයෙන් යුතු උස්බිම් තේ කෝප්පයක් නිෂ්පාදනය කිරීමට ස්ටෝනික්ලිෆ්ට හැකි කර තිබේ. සෑම ගුණාත්මක සමයකදීම එම ස්වභාවික තත්ත්වයන් විශ්වාසනීය තේ රසයක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව, ස්ටෝනික්ලිෆ් වතුයායේ දිගුකාලීන කීර්තිනාමයේ මූලික පදනමක් බවට පත්ව ඇත.
සියවසක් පුරා වතුයායේ නිෂ්පාදන හදවත
MF 005 නිෂ්පාදන කර්මාන්තශාලා අංකයෙන් හඳුන්වන ස්ටෝනික්ලිෆ් තේ කර්මාන්තශාලාව, 1925 වසරේ ආරම්භ කළ දා සිට මුහුදු මට්ටමේ සිට මීටර් 1,423ක උසකින් පිහිටා ඇත. කිලෝග්‍රෑම් 21,000ක අමු තේ දළු රඳවාගැනීමේ trough capacity ධාරිතාවකින් සමන්විත මෙම කර්මාන්තශාලාව වසරකට සාමාන්‍යයෙන් නිමි තේ කිලෝග්‍රෑම් 700,000ක් පමණ නිෂ්පාදනය කරමින් සියවසක් පුරා වතුයායේ නිෂ්පාදන ක්‍රියාවලියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.
කර්මාන්තශාලාවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කෙරෙන ස්ටෝනික්ලිෆ්ල , TC Registration No. TD/111 සහ රොසිටා, TC Registration No. TD/157 යන වෙළෙඳ සලකුණු තේ වෙන්දේසි සහ වෙළෙඳපොළ තුළ හඳුනාගත් නාමයන් වේ. 2025 වසරේදී කර්මාන්තශාලාව සිය අඛණ්ඩ මෙහෙයුම්වල සියවස් සැමරුම සනිටුහන් කරමින් විශේෂ සමරු උත්සවයක්ද පැවැත්වීය.
සම්ප්‍රදායික ඔර්තඩොක්ස් නිෂ්පාදන ක්‍රමය
ස්ටෝනික්ලිෆ් තේ නිෂ්පාදනය සඳහා අනුගමනය කරන්නේ ලොව පුරා ගුණාත්මක තේ නිෂ්පාදනයට ඉහළ පිළිගැනීමක් ඇති Orthodox Tea Manufacturing System හෙවත් සම්ප්‍රදායික ඔර්තඩොක්ස් තේ නිෂ්පාදන ක්‍රමයයි. සුවිශේෂී රසය, සුවඳ සහ පෙනුම සහිත තේ නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙම ක්‍රමයේ ප්‍රධාන වාසියකි.
ක්‍රියාවලිය ආරම්භ වන්නේ අලුතින් නෙළාගත් තේ දළු බර කිරීමෙන් සහ ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙනි. ඉන් අනතුරුව දළු withering troughs මත තබා තෙතමනය අඩු කර, පෙරළීම සඳහා ඒවා මෘදු කරනු ලැබේ. පසුව සිදුකෙරෙන ඇඹරුම් ක්‍රියාවලියේදී තේ දළු අඹරා, මෘදු ලෙස සෛල බිත්ති බිඳීම හරහා ඔක්සිකරණ ක්‍රියාවලිය ආරම්භ කරයි.
ඉන් පසුව සිදුවන fermentation හෙවත් ඔක්සිකරණ අවධියේදී දළු වාතයට නිරාවරණය වීමෙන් තේවල වර්ණය, රසය සහ සුවඳ වර්ධනය වේ. අනතුරුව firing ක්‍රියාවලිය මගින් තාපය යොදා ඔක්සිකරණය නවතා දළු තුළ ඉතිරි තෙතමනය අඩු කර දිගුකාලීන සංරක්ෂණයට සුදුසු කරයි. අවසානයේ වියළන ලද තේ දළු ප්‍රමාණය සහ ගුණාත්මකභාවය අනුව ශ්‍රේණිගත කර, වෙන්දේසි, අපනයන හෝ වෙළෙඳ අලෙවිය සඳහා ඇසුරුම් කෙරේ.
නව තාක්ෂණය සමඟ දළු නෙළීමේ වෙනසක්
2025 වසරේදී Block Plucking System ක්‍රමය අත්හදා බැලූ පළමු වතුයාය ලෙසද ස්ටෝනික්ලිෆ් කටයුතු කළේය. එහිදී තේ වගා බිම් කොටස්වලට බෙදා එක් එක් කොටස තනි කම්කරුවෙකුට වගකීමෙන් පැවරීම හරහා දළු නෙළීමේ වගකීම, අධීක්ෂණය සහ තේ දළුවල ගුණාත්මකභාවයේ ඒකාකාරීත්වය වැඩි කිරීමට පියවර ගෙන ඇත.
මෙම වැඩපිළිවෙළ කොටගල ප්ලාන්ටේෂන්ස්හි උඩරට වතු මෙහෙයුම් තුළ යාන්ත්‍රීකරණය පුළුල් කිරීමේ සැලසුමේ කොටසක් වන අතර, වාණිජ මට්ටමින් යාන්ත්‍රික තේ දළු නෙළීම හඳුන්වාදුන් ශ්‍රී ලංකාවේ මුල් වතු සමාගම් අතර කොටගලද කැපී පෙනේ.
කර්මාන්තශාලාව ISO 22000:2018 සහ ISO 9001:2015 සහතික යටතේ ක්‍රියාත්මක වන අතර, Carbon Footprint Verification ද පවත්වාගෙන යයි. එමෙන්ම වසර දහයකට ආසන්න කාලයක් Rainforest Alliance සහතිකයද පවත්වාගෙන යාම ස්ටෝනික්ලිෆ්හි පාරිසරික සහ නිෂ්පාදන ප්‍රමිතීන් පිළිබඳ අවධානය තවදුරටත් තහවුරු කරයි.
ඉහළ වටිනාකමක් ඇති විශේෂිත තේ
සාම්ප්‍රදායික කළු තේ ශ්‍රේණිවලට අමතරව, ස්ටෝනික්ලිෆ් විසින් සීමිත හා සුවිශේෂී විශේෂ තේ නිෂ්පාදනද වෙළෙඳපොළට හඳුන්වාදී ඇත. Golden Curly Tea සහ White Tea ඒ අතර ප්‍රධාන වන අතර, සුවිශේෂී තේ රසයන් අගය කරන පාරිභෝගිකයන් ඉලක්ක කරගත් ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන ලෙස ඒවා ස්ථානගත කර තිබේ.
ශ්‍රම හිඟයට යාන්ත්‍රීකරණයෙන් පිළිතුරක්
වතුයායේ ශ්‍රම බලකාය 1994 සිට සැලකිය යුතු ලෙස අඩුවී ඇත. එම වසරේ සේවක සංඛ්‍යාව 1,141ක් වූ අතර, අද වන විට සමස්ත සේවක සංඛ්‍යාව 413කි. ඒ අතර කම්කරුවන් 381ක් සිටින අතර, ඔවුන්ගෙන් පිරිමි 161ක් සහ කාන්තාවන් 220ක් වේ. කාර්ය මණ්ඩලයේ 29 දෙනා අතර පිරිමි 23ක් සහ කාන්තාවන් 6ක් සිටින අතර, විධායක නිලධාරීන් තිදෙනෙකුද වතුයායේ සේවය කරති.
ශ්‍රම හිඟයට මුහුණදීම සඳහා ගුණාත්මකභාවය ආරක්ෂා කරමින් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ඉලක්කගත යාන්ත්‍රීකරණය හඳුන්වාදී ඇත. බැටරි සහ ඉන්ධන මගින් ක්‍රියාකරන තේ දළු නෙළීමේ යන්ත්‍ර, දළුවලට හානි නොකර නෙළීම වේගවත් කරන අතර, ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් අවශ්‍ය ස්ථානවලට නිවැරදිව ඉසීමේ කටයුතු සිදුකෙරේ.
යාන්ත්‍රික කප්පාදු යන්ත්‍ර සහ බලයෙන් ක්‍රියාකරන පඳුරු කපන යන්ත්‍ර මගින් කප්පාදු සහ වල් මර්දන කටයුතු සිදුකිරීමෙන් කම්කරුවන්ගේ ශාරීරික වෙහෙසද අඩු කර ඇත. ඒ සමඟම සූර්ය බලශක්ති පැනල මගින් කර්මාන්තශාලාවට විදුලිය සැපයීම, ජාතික විදුලිබල පද්ධතිය මත ඇති රඳාපවතිම අඩු කිරීමට දායක වී තිබේ.
මෙම වෙනස්කම් සියල්ල එක්ව ස්ටෝනික්ලිෆ්ට නව තාක්ෂණය සමඟ ඉදිරියට යමින් තේවල සාම්ප්‍රදායික ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමට ඉඩ සලසා ඇත. වෙනත් වචනවලින් කිවහොත්, වැඩ කරන ආකාරය තාක්ෂණයෙන් වෙනස් වුවද, තේ දළුවේ සම්ප්‍රදාය තවමත් එලෙසම පවතී.
තේ සංචාරක අත්දැකීමෙන් ‘පිරිසිදු සිලෝන් ටී’ නව මානයකට
2024 නොවැම්බර් මාසයේදී Kotagala Plantations විසින් ස්ටෝනික්ලිෆ් වතුයායේ Rosita කොටස තුළ Rosita Tea House විවෘත කළේ සමාගමේ පළමු විශේෂිත තේ මධ්‍යස්ථානය ලෙසිනි.
දිඹුල නිම්නය හරහා ශ්‍රී ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල ලෙස සැලකෙන St. Clair’s Falls දෙස නෙත් යොමු කළ හැකි අයුරින් පිහිටා ඇති මෙම තේ මන්දිරය, ස්ටෝනික්ලිෆ් තේ නිෂ්පාදනය වන එම ස්වභාවික පරිසරය තුළම එහි රසය අත්විඳීමට සංචාරකයන්ට අවස්ථාව සලසා දෙයි. දිඹුල තේ කාණ්ඩයට එහි අනන්‍ය ස්වභාවය ලබාදෙන කාලගුණික රටාවන් නිර්මාණය වන නිම්නය දෙස බලා සිටියදීම, එම ප්‍රදේශයේ නිෂ්පාදිත තේ රසවිඳීම මෙහි සුවිශේෂී අත්දැකීමකි.
ක්ෂේත්‍රය පුරා ගෙන යන තේ අත්දැකීම
මෙම සංචාරක අත්දැකීම තවදුරටත් පුළුල් කරමින් Plantation Mobile Café සංකල්පය හරහා සමාගමේ අනෙකුත් සුන්දර වැවිලි ප්‍රදේශවලටද තේ සංස්කෘතිය ගෙන යනු ලැබේ. ඒ සමඟම, ස්ටෝනික්ලිෆ් සහ මවුන්ට් වර්නන් වතුයායන්හි පරිසර හිතකාමී කබානා පහසුකම්ද සංචාරකයන් සඳහා සකස් කර ඇති අතර, වතුකරයේ රැලි වැටුණු කඳුබෑවුම් සහ නිම්න දෙසට විහිදෙන ස්වභාව සෞන්දර්ය කැටි වූ ආකර්ෂණීය කාමර 11ක් එම පහසුකම් යටතේ පවතී.
වෙළෙඳපොළ සොයා ගිය යුගයෙන් සංචාරකයා වතුයායට කැඳවන යුගයකට
කලක් එල්ෆින්ස්ටන් නව තේ පාරිභෝගිකයන් සොයා යුරෝපය පුරා සංචාරය කළේය. අද එම සම්බන්ධතාව වෙනස් ආකාරයකින් ගොඩනැගෙයි. දැන් ස්ටෝනික්ලිෆ් වතුයායම තේ රසිකයන්ට තමන් වෙත පැමිණ එම තේවල උපන් භූමිය, කාලගුණය සහ සංස්කෘතිය සමඟ ඒවා අත්විඳීමට ආරාධනා කරයි.කාලයත් සමඟ ක්‍රමය වෙනස් වී තිබුණද අරමුණ තවමත් එලෙසමය. ඒ, ‘පිරිසිදු සිලෝන් ටී’ හි විශිෂ්ටත්වය නව පාරිභෝගික පරපුරක් සහ නව වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමයි.

Video Story