September, 2, 2026
JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC), 2026/27 මූල්‍ය වර්ෂය තුළ ප්‍රධාන කාර්යසාධන දර්ශක රැසක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. 2026 ජුනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාභය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ රු. මිලියන 59.9 ට සාපේක්ෂව 51% කින් ඉහළ ගොස් රු. මිලියන 90.4 ක් ලෙස වාර්තා වී ඇත.
සමාගම රු. මිලියන 138.2 ක බදු පෙර ලාභයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා කළ රු. මිලියන 108.8 ට සාපේක්ෂව 27.1% ක වර්ධනයකි. ශුද්ධ මෙහෙයුම් ආදායම පසුගිය මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා කළ රු. මිලියන 671.6 ට සාපේක්ෂව 24.7% කින් ඉහළ ගොස් රු. මිලියන 837.8 ක් ලෙස වාර්තා වී ඇත.
ලාභදායීත්වයේ මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, සමාගමේ මූලික ණය දීමේ කටයුතුවල සිදු වූ අඛණ්ඩ වර්ධනයයි. ඒ අනුව, ණය සහ අය විය යුතු මුදල් එකතුව රු. බිලියන 23.8 සිට රු. බිලියන 34.5 දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 44.7% ක වර්ධනයකි.
එමෙන්ම ස්ථාවර තැන්පතු පදනමක් පවත්වාගෙන යාමටද සමාගම සමත් වී ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ රු. බිලියන 16.9 ක් වූ තැන්පතුවල මුළු වටිනාකම මෙවර 8.1% කින් ඉහළ ගොස් රු. බිලියන 18.3 ක් ලෙස වාර්තා වී තිබේ.
මෙම කාර්යසාධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය: “ජනශක්ති ෆිනෑන්ස් සමාගම නව මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගෙන ඇති අතර, ලාභදායීත්වයේ සැලකිය යුතු වර්ධනයක් මෙන්ම මූලික ව්‍යාපාර කටයුතුවල අඛණ්ඩ ව්‍යාප්තියක්ද පෙන්නුම් කර තිබෙනවා. ශුද්ධ ලාභය 51% කින් වර්ධනය වීම, සමාගමේ මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් කිරීමේදී අප අත්කර ගනිමින් සිටින ප්‍රගතිය පිළිබඳ පැහැදිලි සාක්ෂියක්. ඉදිරියේදීත් යහපත් ආයතනික පාලනයක් සමඟ විධිමත් වර්ධනයක් අත්කර ගනිමින්, අපගේ ගනුදෙනුකරුවන් හා කොටස් හිමියන් සඳහා තිරසාර වටිනාකම් නිර්මාණය කරමින්, මෙම ශක්තිමත් පදනම ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යාමට අප බලාපොරොත්තු වෙනවා.”
ජනශක්ති ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ අදහස් දැක්වීය: “පළමු කාර්තුවේදී වාර්තා වූ මෙම ප්‍රතිඵල මඟින් සමාගමේ අංශ රැසක් සම්බන්ධයෙන් අප අත්කර ගනිමින් සිටින ප්‍රගතිය මැනැවින් පිළිබිඹු වනවා. සමාගමේ ශුද්ධ මෙහෙයුම් ආදායම 24.7% කින් සහ බදු පෙර ලාභය 27% කින් වර්ධනය වී ඇති අතර, ණය සහ අය විය යුතු මුදල් එකතුව රු. බිලියන 34.5 ක් දක්වා අඛණ්ඩව වර්ධනය වීම අපගේ ණය දීමේ කටයුතුවල ශක්තියට සාක්ෂි දරනවා. ගනුදෙනුකරුවන් සමඟ පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම, වැඩි පිරිසකට අපගේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම සහ අපගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව හා ඵලදායීතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම තුළින් මෙම යහපත් ප්‍රවණතාව වඩාත් දීර්ඝකාලීන තිරසාර වර්ධනයක් බවට පරිවර්තනය කිරීම කරගැනීම අපගේ අරමුණයි.”
ජනශක්ති ෆිනෑන්ස් සමාගම පසුගිය කාලය තුළ අත්කරගත් වර්ධනය ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යමින් සිටී. පළමු කාර්තුව තුළ අත්කරගත් මෙම කාර්යසාධනය මඟින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) ක්ෂේත්‍රය තුළ සමාගමට හිමි ස්ථානය තවදුරටත් තහවුරු වනු ඇත.
JXG (Janashakthi Group) සමූහයේ කොටසක් ලෙස ජනශක්ති ෆිනෑන්ස් සමාගම සිය ණය සේවා සහ තැන්පතු ව්‍යාපාර අංශ තවදුරටත් පුළුල් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන වර්ධන ක්‍රමෝපායක් අනුගමනය කරමින් සිටී. ඒ ඔස්සේ තම මෙහෙයුම් හැකියාවන් වර්ධනය කරගනිමින් ගනුදෙනුකරුවන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ පිරිනැමීම සමාගමේ අරමුණ වී තිබේ. පළමු කාර්තුවේදී වාර්තා වූ සාර්ථක මූල්‍ය ප්‍රතිඵල, මෙම අරමුණ යථාර්ථයක් බවට පත්කර ගැනීමේ ප්‍රයත්නයන්ට මනා පිටිවහලක් වනු නිසැකය.
වගකීම් සහගත ලෙස ණය දීම, ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කරගත් විසඳුම් හඳුන්වා දීම සහ විධිමත් ලෙස මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීම ඔස්සේ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සඳහා දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය කරන අතරම තිරසාර වර්ධනයක් අත්කර ගැනීම සඳහා ජනශක්ති ෆිනෑන්ස් අඛණ්ඩව කැප වී සිටී.
Video Story