ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම පිළිබඳව ඉතාලි තානාපතිවරයා හා වෙළෙඳ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

    September, 2, 2026

    ශ්රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්රැන්කොවිග් (Damiano Francovigh) මහතා, නියෝජ්ය දූත මණ්ඩල ප්රධානී ඇල්බර්ටෝ ආර්සිඩියාකොනෝ (Alberto Arcidiacono) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පැවැත්විණි.
    මෙම හමුවේදී ශ්රී ලංකාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු වූ අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
    ශ්රී ලංකාව සමඟ වෙළෙඳ හා ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා වන නව මාවත් පිළිබඳව සොයා බැලීමට ඉතාලියේ ඇති කැමැත්ත තානාපති ෆ්රැන්කොවිග් මහතා ප්රකාශ කළේය. දෙරට අතර පවතින දිගුකාලීන හා සුහද සබඳතා අගය කරමින්, ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට තානාපතිවරයා දක්වන උනන්දුව අමාත්ය සමරසිංහ මහතා සාදරයෙන් පිළිගත්තේය. කලාපීය මධ්යස්ථානයක් ලෙස ශ්රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම පෙන්වා දුන් අමාත්යවරයා, සමුද්රීය සේවා, තොරතුරු තාක්ෂණ හා ව්යාපාරික ක්රියාවලි බාහිරකරණය (IT-BPO) සහ අගය එකතු කරන ලද කෘෂි නිෂ්පාදන ඇතුළු ක්ෂේත්ර කිහිපයක ඇති අවස්ථා ගවේෂණය කරන ලෙස ඉතාලි ආයෝජකයින්ට සහ ව්යාපාරිකයින්ට ආරාධනා කළේය.
    2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත “Sri Lanka Expo” ප්රදර්ශනයට සහභාගී වීමට සහ විභව ව්යාපාරික හා ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්රී ලංකාවට වෙළෙඳ හා ආයෝජන නියෝජිත පිරිසක් එවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අමාත්යවරයා ඉතාලි පාර්ශවයෙන් ඉල්ලා සිටියේය.
    ද්විපාර්ශ්වික ආර්ථික නියැලීම පුළුල් කිරීමට සහ වෙළෙඳ, ආයෝජන සහ ව්යාපාරික හවුල්කාරිත්වයන් සඳහා නව මංපෙත් නිර්මාණය කිරීමට දෙරටේම ඇති අන්යෝන්ය උනන්දුව මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.
    මෙම හමුව සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා සහ වාණිජ අධ්යක්ෂ චරිත යට්ටෝගොඩ මහතා ද සහභාගී විය.