ගෝලීය නාවික ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ සාකච්ඡාවකට ඇමෙරිකානු නාවික නියාමකයින් පිරිසක් කොළඹ වරායේ සංචාරයක

    September, 10, 2026

    ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් නාවික කොමිෂන් සභාවේ (FMC) සභාපතිනි ලෝරා ඩිබෙල්ලා (Laura DiBella) සහ කොමසාරිස් රොබට් ජේ. හාර්වි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ වරායේ විශේෂ සංචාරයක නිරත විය. මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ වරාය මෙහෙයුම්, සේවාවන්, ධාරිතා සංවර්ධනය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී.

    මෙම හමුවේදී කොළඹ වරායේ අනාගතය, කලාපීය වරාය සංවර්ධනය, නාවික සබඳතා සහ ගෝලීය සැපයුම් දාමයන්ගේ නම්‍යශීලීභාවය (resilience) කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රය ප්‍රධාන ව්‍යුහාත්මක හා තාක්ෂණික වෙනස්කම්වලට ලක්වන මෙවැනි කාලයක, නාවික නියාමකයින්, වරාය අධිකාරි සහ කර්මාන්ත පාර්ශ්වකරුවන් අතර පවතින අඛණ්ඩ සබඳතාවයේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා සඳහන් කළේ, කලාපීය වරාය සංවර්ධනය මගින් පුළුල් කලාපීය වෙළඳාමට සහාය ලැබෙන අතරම ගෝලීය සැපයුම් දාමයන්ගේ නම්‍යශීලීභාවය වැඩිදියුණු වන බවයි. මේ අනුව, ඉන්දියානු සාගර නාවික ජාලය තුළ කොළඹ වරායේ ධාරිතාව ව්‍යාප්ත කිරීම සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීම ඉතා වැදගත් වේ.

    1961 අගෝස්තු 12 වන දින ස්ථාපිත කරන ලද ඇමෙරිකානු ෆෙඩරල් නාවික කොමිෂන් සභාව (FMC), එක්සත් ජනපද ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන පද්ධතිය නියාමනය කරමින් තරඟකාරී සහ විශ්වාසදායක නාවික ප්‍රවාහන පද්ධතියක් තහවුරු කිරීමට කටයුතු කරයි.