September, 11, 2026
ගෝලීය භූ දේශපාලනික අවිනිශ්චිතතාවයන් හමුවේ විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම සහ ද්‍රවශීලතාව තහවුරු කිරීම මහ බැංකුවල මූලික වගකීම වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (10) කොළඹ දී පැවැති 2026 සංචිත කළමනාකරණ සමුළුවේ (Reserve Management Conference 2026) සමාරම්භක දේශනය පවත්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
2022 වසරේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ දී විදේශ සංචිත දැඩි ලෙස අඩුවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ආනයන සීමා වීම, ණය සේවාකරණය අපහසු වීම සහ විදේශ විනිමය අනුපාත මත දැඩි පීඩනයක් එල්ල වීම වැනි බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වූ බව ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් ආර්ථික වශයෙන් යහපත් කාලපරිච්ඡේදයන්හිදී මූල්‍ය ස්වාරක්ෂක (buffers) ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බවත්, සංචිත කළමනාකරණයේදී හුදෙක් ආයෝජන ලාභ ලැබීමට වඩා සංචිතවල සුරක්ෂිතතාව සහ ද්‍රවශීලතාව කෙරෙහි මූලිකත්වය දිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම ආනයන මාස ගණන වැනි තනි සාම්ප්‍රදායික දර්ශක මත පමණක් පදනම් නොවී, ගෝලීය වෙළඳ බලපෑම්, බලශක්ති මිල වෙනස්වීම් සහ දේශගුණික විපත් වැනි සංකීර්ණ අවදානම් කළමනාකරණය කළ හැකි පුළුල් අවදානම් කළමනාකරණ රාමුවක් මහ බැංකු විසින් අනුගමනය කළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නේය.
Video Story