September, 11, 2026
දකුණු ආසියානු මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නවමු පිටුවක් පෙරළමින්, මෙවර කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week - CFW) සිය Couture + Trousseau දැක්ම එළඹෙන සැප්තැම්බර් 17, 18 සහ 19 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත. 'Living Sculpture' (ජීවමාන මූර්ති) යන සුවිශේෂී තේමාව මුල් කරගනිමින් පැවැත්වෙන මෙවර විලාසිතා දැක්ම, ප්‍රකට මූර්ති ශිල්පී ප්‍රගීත් මනෝහංසයන්ගේ අලංකාර මූර්ති නිර්මාණයන්ගෙන් වර්ණවත් වේ.
සාම්ප්‍රදායික මෝස්තර නිරූපණ වේදිකාව හුදෙක් ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනය කරන ස්ථානයකින් ඔබ්බට ගෙන යමින්, එය සැබෑ ජීවමාන කලාගාරයක් බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. යකඩ කැබලි භාවිතයෙන් චලනය සහ හැඟීම් මතුකරන දැවැන්ත මූර්ති නිර්මාණය කිරීමට ප්‍රකට ප්‍රගීත් මනෝහංසගේ නිර්මාණ, මෙවර වේදිකාවේ පසුබිම මෙන්ම සෑම විලාසිතාවකම ආභාසය සහ මූලාශ්‍රය බවටද පත්වනු ඇත.
මෙවර විලාසිතා දැක්ම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ චීනය යන රටවල ප්‍රමුඛ පෙළේ මෝස්තර නිර්මාණකරුවන් රැසක් එක්ව සිටිති. උසස් මෝස්තර නිර්මාණ ශිල්පය යනු හුදෙක් ඇඳුම් නිර්මාණයට එහා ගිය, නිර්මාණකරුවාගේ දැක්ම, ශිල්පීය නිපුණතාව සහ කලාත්මක බව එකිනෙක හමුවන රමණීය සංකලනයක් බව ඔවුන්ගේ නිර්මාණ තුළින් මනාව පිළිඹිබු කෙරේ.
ගෙවී ගිය වසර 23 පුරාවටම ශ්‍රී ලාංකේය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ගමනාන්තය තීරණය කළ පුරෝගාමී බලවේගය වූයේ කොළඹ විලාසිතා සතියයි. සුවිශේෂී තේමාවන් ඔස්සේ විලාසිතා ක්ෂේත්‍රය නව මානයන් වෙත යොමු කළ CFW හි, විලාසිතා සහ කලාව මුසු වූ වඩාත්ම අභිලාෂකාමී ප්‍රවේශය ලෙස CFW Couture + Trousseau හැඳින්විය හැකිය.
මෙම නවමු තේමාව පිළිබඳව අදහස් දක්වමින් කොළඹ විලාසිතා සතියේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ අජේ වීර් සිංග් මහතා මෙසේ පැවසීය:
"Couture කියන්නේ විලාසිතාවක් හුදෙක් ඇඳුමකින් එහා ගිය සැබෑ කලා නිර්මාණයක් බවට පත්වෙන සන්ධිස්ථානයටයි. අපේ Runway එක තුළින් ඒ කලාත්මක බව උපරිමයෙන්ම නිරූපණය කරන්නයි අපිට ඕන වුණේ. මෙහි ඇති මූර්ති හුදෙක් අලංකාරයට තැබූ සැරසිල්ලක් නෙමෙයි; ඒවා මෝස්තර නිර්මාණ සමඟ එකතු වෙලා නිර්මාණය කරන නිහඬ සංවාදයක්. ප්‍රගීත් මනෝහංස වැනි විශිෂ්ට කලාකරුවෙකු සමඟ එක්ව මෙම සංකල්පය සැබෑවක් බවට පත් කිරීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා."
CFW Couture + Trousseau 2026 ප්‍රධාන අනුග්‍රාහක ලෙස Nations Trust Bank කටයුතු කරන අතර, ස්ථානීය සහකරු ලෙස Cinnamon Life at City of Dreams එක්වෙයි. මීට අමතරව Lanka Walltiles, Vision Care, Hameedia සහ Ramani Fernando යන ආයතනයන්ද, සහකාර පාර්ශවකරුවන් ලෙස Acorn, Pulse, News First, Ceylon Today, Emerging Media සහ HardTalk යන ආයතනයන්ද මෙයට දායකත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාවේ මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රධානතම සන්නිවේදන හඬ මෙන්ම ශක්තිමත් පදනම වන CFW, සිය සහකරුවන් සමඟ එක්ව පරිපූර්ණ විලාසිතා පද්ධතියක් නිර්මාණය කිරීමට නිරන්තරයෙන් කැපවී සිටියි.
Video Story