විශිෂ්ට සේවා ස්ථාන ඇගයීමට “ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල – 2026” නිල වශයෙන් ආරම්භ කෙරේ

    September, 11, 2026

    ''ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය සහ ඵලදායිතා සම්මාන උළෙල (SLCHPA) - 2026" අද නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, සේවක සුබසාධනය, සේවා ස්ථානීය සෞඛ්‍යය සහ ඵලදායිතාව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ශ්‍රී ලාංකික ආයතන හඳුනාගෙන ඇගයීමට ලක් කිරීම මෙහි අරමුණ වේ. සේවකයින්ගේ යහපැවැත්ම සහ ආයතනික කාර්යසාධනය අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, ඒ පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාවේ දිරිගැන්වීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණකි.

    ලාංකේය ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් ජපාන බාහිර වෙළඳ සංවිධානය (JETRO) සමඟ එක්ව සංවිධානය කරන SLCHPA - 2026 සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සම්පත් බැංකුව කටයුතු කරයි. සේවකයින්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ වෘත්තීය ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා කැපවන ආයතන හඳුනාගෙන ඇගයීම තුළින්, මානව සම්පත කේන්ද්‍ර කරගත් තිරසාර ව්‍යාපාරික සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. JETRO හි ජාත්‍යන්තර අත්දැකීම් සහ ජපන් දැනුම සමඟින්, ශ්‍රී ලංකාවේ සේවා ස්ථානීය ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමටද මෙම වැඩසටහන අපේක්ෂා කරයි.

    සාම්ප්‍රදායික ව්‍යාපාරික සාර්ථකත්වයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින්, ව්‍යාපාරික සාර්ථකත්වය මැනීමේදී සේවක සෞඛ්‍යය, යහපැවැත්ම සහ ඔවුන්ගේ සක්‍රීය දායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට SLCHPA හරහා ආයතන දිරිගන්වා ඇත. වසර ගණනාවක් පුරා සේවකයින් සඳහා හිතකර සහ ඵලදායී සේවා පරිසරයන් ගොඩනැංවීමට අවධානය යොමු කළ ආයතන ඇගයීම තුළින්, ශ්‍රී ලංකාවේ සේවා ස්ථානීය ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමටද මෙම සම්මාන උළෙල මඟ පෙන්වා ඇත.

    පෙර සාර්ථකත්වයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින්, SLCHPA - 2026 සේවා ස්ථානීය සෞඛ්‍යය සහ ඵලදායිතාව ඇගයීමේ පුළුල් අදියරක් වශයෙන් මෙවර පැවැත් වේ. නව්‍ය සේවා ස්ථානීය ක්‍රියාමාර්ග හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමත්, සහභාගී වන ආයතන සඳහා ඉහළ ජාතික පිළිගැනීමක් ලබා දීමත් මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණු අතර වේ. එමෙන්ම, සේවකයින්ට සිය උපරිම දායකත්වය ලබා දීමට සහ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමටත් හැකි සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සමාගම් දක්වන කැපවීම ඉස්මතු කිරීමටද මෙම සම්මාන උළෙල සුවිශේෂී අවස්ථාවක් සපයයි.

    අද ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය තීරණය වන්නේ මූල්‍ය ප්‍රතිඵල මත පමණක් නොව, සේවකයින්ගේ සෞඛ්‍යය, යහ පැවැත්ම සහ ඵලදායිතාව කෙරෙහි ආයතනය දක්වන අවධානය මතද වේ. හිතකර සේවා සංස්කෘතියක් ගොඩනැංවීම මඟින් සේවක සහභාගීත්වය සහ කාර්ය සාධනය ඉහළ නැංවීමට, දක්ෂ සේවකයින් ආකර්ෂණය කර රඳවා ගැනීමට සහ තිරසාර ව්‍යාපාරික වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වේ. SLCHPA - 2026 මඟින් මානව සම්පත වෙනුවෙන් සිදු කරන ආයෝජන, වඩාත් ශක්තිමත් ආයතන ගොඩනැංවීමට දායක වන ආකාරය ඉස්මතු කරයි.

    මෙම සමාරම්භය පිළිබඳ අදහස් දක්වමින් ලාංකේය ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ (COYLE) හි සභාපති සුරේන් චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය. "SLCHPA හි මූලික අරමුණ වන්නේ සේවකයින් ආයතනයක වටිනාම සම්පතක් ලෙස සලකමින්, ඔවුන්ගේ සෞඛ්‍යය සහ යහ පැවැත්ම වෙනුවෙන් කැපවන ආයතන හඳුනාගෙන ඇගයීමයි. සේවක සුබසාධනය සහ ආයතනික සාර්ථකත්වය අතර ඇති සමීප සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, වැඩි ආයතන සංඛ්‍යාවක් සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී සේවා පරිසර ගොඩනැංවීමට දිරිගැන්වීම SLCHPA - 2026 හරහා අපගේ අපේක්ෂාවයි."

    SLCHPA - 2026 ඇගයීම් ක්‍රියාවලිය පැහැදිලි, විනිවිදභාවයෙන් යුත් සහ විශ්වසනීය ක්‍රම වේදයක් මතපදනම් වේ. අයදුම් කරන ආයතන තම සේවක සුබසාධන වැඩසටහන්, සෞඛ්‍ය මුලපිරීම්, සේවා ස්ථානීය ක්‍රමවේද සහ ඵලදායිතා ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළ යුතුය. පූර්ව නිර්ණායක මත පදනම්ව මෙම අයදුම්පත් සවිස්තරාත්මක සමාලෝචනයකට ලක් කෙරෙන අතර, ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ගුණාත්මකභාවය සහ ඇති කළ බලපෑම මත ජයග්‍රාහකයින් තේරී පත් කර ගැනේ.

    SLCHPA - 2026 සඳහා ලියාපදිංචිය සහ අයදුම්පත් භාරගැනීම ළඟදීම ආරම්භ වන අතර, විවිධ ප්‍රමාණයන්ගෙන් සහ ක්ෂේත්‍රයන්ගෙන් යුත් ආයතනවලට මේ සඳහා සහභාගී විය හැකිය. තම සේවා ස්ථානීය සෞඛ්‍ය, සුබ සාධන සහ ඵලදායිතා වැඩපිළිවෙළ ජාතික මට්ටමෙන් ප්‍රර්දර්ශනය කරමින්, ඒ සඳහා පිළිගැනීමක් ලබා ගැනීමට මෙය ආයතනවලට සුවිශේෂී අවස්ථාවක් සලසා දෙයි.