ජාතික ණය ඇපකර ආයතනය කොමර්ෂල් බැංකුවට 2,000 වන සන්ධිස්ථානගත ණය ඇපකරය නිකුත් කරයි

    September, 14, 2026

    ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමයට සම්බන්ධ ව සිටින සියලුම මූල්‍ය ආයතන අතරින් ඉහළම මුළු ණය ප්‍රමාණය ලබා දී ඇති බැංකුව ලෙස, කොමර්ෂල් බැංකුව සිය වෙළඳපල මූලිකත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත.

    මෙම වැඩසටහන වෙනුවෙන් බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමින් ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) විසින් සිය 2,000 වන ඇපකරය කොමර්ෂල් බැංකුව වෙත නිකුත් කිරීමේ සුවිශේෂී අවස්ථාව මෑතකදී සනිටුහන් කරන ලදී.

    කොමර්ෂල් බැංකුව විසින් ජාතික රාමුව තුළ, NCGIL විසින් දියත් කරන ලද ‘ලිය ශක්ති’ ණය ඇපකර යෝජනා ක්‍රමය හරහා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඇතුළුව, දිවයින පුරා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSME) සඳහා පුළුල් සහයෝගයක් ලබා දෙයි. ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති සියලුම පහසුකම් වලින් තුනෙන් එකක් පමණ වන ඇපකර 600 ක ප්‍රමාණයක් ලබා ගනිමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට සහය ලබාදීමේ තම ප්‍රමුඛත්වය තහවුරු කළ කොමර්ෂල් බැංකුව, මේ වනවිට එම අංශය සඳහා රුපියල් බිලියන 2.97 ක මුළු ණය ප්‍රමාණයක් ලබා දී ඇත.

    බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා මෙසේ පැවසීය: “මෙතරම් කෙටි කාලයක් තුළ මෙම සන්ධිස්ථානයට ළඟා වීම මගින් මෙම ජාතික ණය ක්‍රමයේ ශක්තිය සහ ශ්‍රී ලංකාව පුරා ව්‍යාවසායකයින්ගේ නොසැලී සිටීමේ හැකියාව හා විභවය යන දෙකම පිලිබිඹු කරයි. බැංකුවක් ලෙස සාම්ප්‍රදායික ණය දීමෙන් ඔබ්බට ගිය නව්‍ය හවුල්කාරීත්වයන් හා ඉලක්කගත මූල්‍ය විසඳුම් හරහා මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශය පුළුල් කිරීමට අපි දැඩි කැපවීමකින් කටයුතු කරන්නෙමු. අපගේ අවධානය හුදෙක් ප්‍රාග්ධනය සැපයීම කෙරෙහි පමණක් ම නොව, උපදේශන සහය, ධාරිතාව වැඩි කිරීම මෙන් ම මූල්‍ය ඇතුලත් කිරීමේ වැඩසටහන් හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වල තිරසාර සංවර්ධනයක් ඇති කිරීම කෙරෙහි ද යොමු වී ඇත.”

    සාම්ප්‍රදායික බැංකු ණය ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් අවශ්‍ය වන ඇපකරයක් නොමැති වුවද, සාර්ථක ව්‍යාපාර ආකෘතියක් සහ හොඳ ආපසු ගෙවීමේ හැකියාවක් පෙන්නුම් කරන ව්‍යවසායකයින්ට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීම උදෙසා NCGIL විසින් ජාතික ණය ඇපකර යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදීි. අර්ධ ණය ඇපකරවල සහය ලබන මෙම යෝජනා ක්‍රමය හරහා ඊට සම්බන්ධ මූල්‍ය ආයතනවලට තම ගනුදෙනුකරුවන්ට ඇපකර රහිත ණය ලබා දීමේ හැකියාව ලබා දෙයි. කාන්තා ව්‍යවසායකයින් සඳහා වෙන් වූ ‘ලිය ශක්ති’ වැනි විශේෂිත උප ණය යෝජනා ක්‍රම ද ඊට ඇතුළත් වන අතර ඒ හරහා ව්‍යාපාර සංවර්ධනයට බාධා පමුණුවන ප්‍රධානතම ගැටළුවකට විසඳුම් ලබා දීම සිදු කෙරේ.

    NCGIL සමඟ බැංකුව ඇති කරගෙන ඇති මෙම හවුල්කාරීත්වය, අවදානම් අවම කරමින් මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශ වීමේ හැකියාව වැඩි කෙරෙන, නව්‍ය ණය පහසුකම් ක්‍රම සහ උපායමාර්ගික සහයෝගීතා හරහා ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණය ශක්තිමත් කිරීම සඳහා වෙන් වූ පුළුල් උපායමාර්ගයක කොටසකි.

    ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

    දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

    සේයාරු සටහන: ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, NCGIL නියෝජිතයින් සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා ඉදිරියේ NCGIL වෙතින් කොමර්ෂල් බැංකුව වෙත 2000 වැනි ඇපකරය පිරිනැමීමේ අවස්ථාව.