Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක සුවිශේෂී කඩඉමක්

    September, 14, 2026

    හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මෙහෙයුම් ආරම්භ කර මුල් මාස 9 තුළදීම මෝටර් රථ 1,000ක් පාරිභෝගිකයන් වෙත භාරදෙමින් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකේය රථවාහන පාරිභෝගිකයන් හේලීස් මොබිලිටි ලිමිටඩ් ආයතනය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මනාව තහවුරු කරන්නකි.

    මෙම සංධිස්ථානය මඟින් පිළිඹිබු වන්නේ පාරිභෝගිකයන්, පවුල් සහ ව්‍යාපාර 1,000ක් හේලීස් මොබිලිටි සමඟින් සිය නව ගමන ආරම්භ කර ඇති බවයි. OMODA සහ JAECOO, KAIYI, SRM, CFMOTO සහ King Long යන ලෝකප්‍රකට වාහන සන්නාමයන්ගෙන් සමන්විත සිය පුළුල් වාහන එකතුව හරහා විද්‍යුත් (EV), හයිබ්‍රිඩ් (Hybrid) සහ පෙට්‍රල් මාදිලියේ මගී වාහන මෙන්ම වාණිජ වාහන රැසක් ශ්‍රී ලංකාවේ වෙනස් වන ප්‍රවාහන අවශ්‍යතාවලට අනුකූලව ලබා දීමට හේලීස් මොබිලිටි කටයුතු කරයි.

    දිවයින පුරා වේගයෙන් ව්‍යාප්ත වන ශාඛා සහ සේවා ජාලය මඟින් අලෙවි සහ පසු-අලෙවි සේවාවන් පාරිභෝගිකයාට තවත් සමීප කරවීම මෙන්ම, දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය ආයතන 20කට වැඩි සංඛ්‍යාවක් සමඟ ඇති කරගත් උපායමාර්ගික මූල්‍ය හවුල්කාරීත්වයන් හරහා  වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට පහසුවෙන් නව වාහන හිමිකාරීත්වය ලබා ගැනීමට සැලසීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් විය.

    මෙම සංධිස්ථානය සැමරීමේ විශේෂ උත්සවයක් කොළඹ අල්ටෙයාර් (Altair) පරිශ්‍රයේ OMODA සහ JAECOO ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේදී (Flagship Store) පැවැත්වුණු අතර, පාරිභෝගිකයන් සහ ව්‍යාපාරික පාර්ශ්වකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් එහිදී 1,000 වන වාහනය පාරිභෝගිකයා වෙත සංකේතාත්මකව භාරදීමට කටයුතු කෙරිණි.

    මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මෙසේ පැවසීය:

    "මෙතරම් කෙටි කාලයක් තුළ වාහන 1,000 සීමාව පසුකිරීමට හැකිවීම අප කෙරෙහි ඇති පාරිභෝගික විශ්වාසයේ ප්‍රබලත්වය පෙන්නුම් කරනවා. Hayleys Mobility පිටුපස හේලීස් ෆෙන්ටන්ස් හි සියවසකට වැඩි ඉංජිනේරු විශිෂ්ටත්වය සහ හේලීස් සමූහයේ වසර 148ක අභිමානවත් උරුමය පවතින නිසයි පාරිභෝගිකයන් විශ්වාසයෙන් යුතුව අප වටා එක්වන්නේ. පාරිභෝගිකයෙකු අපගෙන් වාහනයක් තෝරා ගැනීමේදී, එම වාහනය පිටුපස ඉදිරි වසර ගණනාව පුරා සවිමත්ව සිටින ආයතනයක්ද ඔවුන් තෝරා ගන්නවා."

    Hayleys Mobility පිටුපස ඇති දැක්ම පිළිබඳ අදහස් දක්වමින් හේලීස් මොබිලිටි ලිමිටඩ් හි විධායක අධ්‍යක්ෂිකා රොෂානි ධර්මරත්න මහත්මිය මෙසේ සඳහන් කළාය:

    " අපි මේ ගමන ආරම්භ කළේ එක පැහැදිලි අරමුණකින්. ඒ වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට අලුත්ම (Brand-new) වාහනයක හිමිකාරීත්වය ලබා ගැනීමේ සිහිනය සැබෑ කරදීමටයි. අද වන විට ඒ අරමුණ පිටුපස සාර්ථක කතාන්දර 1,000ක් තිබෙනවා.මෙම කඩඉම මඟින් 'ඕනෑම ගමනකට එක් සන්නාමයක්' (One Brand for Every Journey) යන අපගේ පොරොන්දුව යථාර්ථයක් බවට පත් වෙනවා. මුලින්ම අලුත් වාහනයක් මිලදී ගන්නා පවුලක් වේවා, ව්‍යාපාරය පුළුල් කරන ව්‍යවසායකයෙක් වේවා, නැතහොත් විද්‍යුත් වාහන වෙත යොමුවන රියදුරෙකු හෝ වේවා, ඒ සෑම කෙනෙකුගේම මීළඟ ගමන සාර්ථක කරදීමට Hayleys Mobility සූදානම්. වාහන 1,000ක් යනු ආඩම්බරකාරී ආරම්භයක් පමණයි. ඉදිරි ගමන තුළ ඊටත් වඩා විශාල බලාපොරොත්තුවක් තිබෙනවා."

    හේලීස් මොබිලිටි ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳ සිය අදහස් එක් කරමින් මෙසේ පැවසීය:

    "විද්‍යුත්, හයිබ්‍රිඩ් සහ පෙට්‍රල් වාහන, ආරෝපණ යටිතල පහසුකම් (Charging infrastructure), නිෂ්පාදක වගකීම්, නියම අමතර කොටස් සහ දිවයින පුරා පැතිරුණු පසු-අලෙවි සේවාවන් ඇතුළත් පරිපූර්ණ ප්‍රවාහන සේවා පරිසර පද්ධතියක් (Mobility ecosystem) ලබා දීමට අප සූදානම්. විශාල පරාසයක සේවාවක්, වෘත්තීයමය පළපුරුද්ද සහ දීර්ඝකාලීන විශ්වාසනීයත්වය සහිත සේවාවක් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් සැමවිටම අගය කරන බව මෙම සංධිස්ථානයෙන් තවදුරටත් තහවුරු වෙනවා."

    වාහන 1,000 සීමාව පසුකරමින් ඉදිරියට යන Hayleys Mobility ආයතනය, පාරිභෝගික තේරීම් පුළුල් කිරීමටත්, දිවයින පුරා සිය සේවාවන් ව්‍යාප්ත කිරීමටත්, විශ්වාසනීය සහ අනාගතයට ගැලපෙන ප්‍රවාහන විසඳුම් ලබා දීමටත් කැපවී සිටියි. එමෙන්ම, සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් Two-wheeler වාහන ක්ෂේත්‍රයට පා තැබීමටද හේලීස් මොබිලිටි ආයතනය මේ වන විට සූදානම් වෙමින් සිටියි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට 0112 222 222 අංකය ඔස්සේ Hayleys Mobility කණ්ඩායම හා සම්බන්ධ වෙන්න.