September, 14, 2026
ශ්‍රී ලංකාවේ ශල්‍යකර්මයේ පරිනාමය පිළිබඳ ශල්‍ය වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතාගේ දශක සතරක අත්දැකීම මත පදනම්, අද්විතීය අධ්‍යාපනික හා ඓතිහාසික ප්‍රදර්ශනයක් සැප්තැම්බර 25 සිට 27 දක්වා ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ශල්‍යාගාරයෙන් බාහිරව ශල්‍ය වෛද්‍යවරයෙකුගේ ජීවිතයේ විවිධ පැතිකඩයන් දෙස අවධානය යොමුකොට, වෛද්‍ය විද්‍යාව සමාජයට, ඉතිහාසයට, අධ්‍යාපනයට හා ජාතික සේවයට බලපාන අයුරු මෙහිදී පිළිබිඹු වේ. වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතාගේ ජීවිත ගමනේදී, වෛද්‍ය, මානුෂීය, යුද, ශීක්ෂණ, නවීකරණ හා මහජන සේවා ඇතුලත් පැතිකඩයන් දිස්වෙන මෙම ප්‍රදර්ශනය දෘශ්‍ය සංචාරයක් වේ.

ඡායාරූප 500ක්, පුවත්පත් ලිපි, ඓතිහාසික ලේඛන, වෛද්‍ය නිරුපන, සායනික ද්‍රව්‍ය, තිළිණ, ප්‍රකාශන, පෞද්ගලික සිහිකටයුතු දේ සහ ශල්‍යකර්මයේ යෙදුනු ජීවිත කාලයක් පුරා එකතු කරන ලද කථාවස්තූන්, මෙම ප්‍රදර්ශනයේ දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ රෝහල් තුළ දක්නට ලැබෙන ශල්‍යකර්මයට අයත් විවිධ තත්ත්වයන් හා ග්‍රාමීය රෝහල් තුළ හා යුද ගැටුම් වලට භාජනය වුනු පළාත්වල, ශල්‍ය වෛද්‍යවරුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව කාලානුක්රමිකව හා තේමාත්මක ලෙස සකසන ලද එම සංදර්ශන පුවරුවලින් දැක ගත හැකි වේ. වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා ඔහුගේ සතලිස් වසරක වෘත්තීය ජීවිතය තුළ, වෛද්‍ය වෘත්තිකයන් විශාල සංඛ්‍යාවකට ගුරුතුමෙකු හා මග පෙන්වන්නකු වී ඇත.
සායනික ජීවිතය පිළිබඳ යතාර්ථය අවබෝධකර ගැනීමට වෛද්‍ය සිසුන්ට මෙය විශිෂ්ඨ අවස්ථාවක් වනු ඇත. මෙය තුවාල ශල්‍යකර්ම, ශල්‍යකර්ම අධ්‍යාපනය හා වෘත්තීය නායකත්වය ඇතුළු තුවාල ශල්‍යකර්මයේ දියුණුව පිළිබඳව වැදගත් ඓතිහාසික ලේඛනාගාරයක් ද වේ. මෙම ප්‍රදර්ශනය, රෝහලකින් බැහැරව ශල්‍යකර්ම පිළිබඳව මහජනතාවට දැකගත හැකි දුර්ලභ අවස්ථාවකි. ශල්‍යකර්ම ක්‍රමවේද, සායනික සේවකයින්ගේ කැපවීම සහ, රෝගී තත්ත්වයන්, තුවාල, හා ආපදාවන් ඉදිරියේ ඔරොත්තු දීමේ හැකියාව හා බලාපොරොත්තු සහගතව එයට මුහුණ දුන් රෝගීන්ගේ සුවිශේෂී ධෛර්යය තේරුම් ගැනීමට නරඹන්නන්ට හැකිවනු ඇත.
“සැත්කමකින් ඔබ්බට” ප්‍රදර්ශනය යනු පුද්ගලයෙකුගේ අතීතයට බලපාන මතක සටහනක් පමණක්ම නොවේ. එය අධ්‍යාපන මූලාශ්‍රයක්, ඓතිහාසික සටහනක් සහ ශ්‍රී ලංකාවේ ශල්‍යකර්මයේ පරිනාමය වෙනුවෙන් ගුණකථනයක් ද වේ. එතුළින් ප්‍රශංසා පිදෙන්නේ ඒ හා සම්බන්ධ වූ ජීවිත වලට, ඉන් ප්‍රබෝධමත් වූ සිසුන්ට, බෙදාගත් දැනුමට, හා සේවය සැපයුනු ප්රජාවන්ටයි. ශල්‍යකර්මය කෙරෙන්නේ නිපුණ අත් වලින් වුවද, එහි විශේෂත්වය වන්නේ, එහි විශාලතම ජයග්රහණයන් මිනුම් කෙරෙන්නේ කරුණාවෙන්, මනුෂ්යත්වයයෙන් හා සේවයෙන් බවයි. රටේ නන් දෙසින් මෙම ප්‍රදර්ශනය සඳහා පැමිණෙන රෝගීන් කිහිප දෙනෙක් ශල්‍යකර්මයේ ආශ්චර්යය ජීවමාන කරනු ඇත.
ස්ථානය: ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලීය ශ්‍රවණාගාරය.
දිනය: 2026 සැප්තැම්බර 25 සිට 27 දක්වා.
වේලාව: පෙ. ව. 9 සිට ප.ව. 8 දක්වා.
ප්‍රදර්ශනය මහජනතාවට විවෘතව තිබෙන අතර, ඇතුල්වීම නොමිලේ බව සළකන්න.
Video Story