ඩුබායි හි පැවැත්වුණු ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුවේදී ගල්ෆ් කලාපීය ආයෝජන සබඳතා ශක්තිමත් කර ගැනීමට කොළඹ වරාය නගරය සමත්වෙයි

    September, 17, 2026

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද දෙවන ‘Sri Lanka Beyond Your Dreams’ තානාපති සහ ආයෝජන හමුව 2026 සැප්තැම්බර් 02 වන දින ඩුබායි හි Hilton Dubai Al Habtoor City හිදී පැවැත්වුණු අතර, කොළඹ වරාය නගරය ඒ සඳහා ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක් විය. මෙම සන්ධ්‍යාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාරික නායකයින්, ආයෝජකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආයතනික පාර්ශවකරුවන් 400කට වැඩි පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨතම නියෝජිතයින් පිරිසක් ද සහභාගී වූහ.

    මෙම උත්සවයේ ගෞරවනීය අමුත්තා ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ අමාත්‍ය අතිගරු ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ද ඒ සඳහා එක්විය.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පවතින ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා රජය සතු කැපවීම මනාව තහවුරු කරමින්, ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ. අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ වාණිජ අධ්‍යක්ෂ ජෙනරාල් සෝමසේන මහදියුල්වැව යන මහත්වරුන් ඒ අතර වූහ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අතිගරු මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට මෙම හමුව මඟ පාදන බව පැවසුවාය. තවද, මෙවැනි කීර්තිමත් උත්සවයක් සාර්ථක කර ගැනීමට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය දැක්වූ අඛණ්ඩ සහයෝගය සහ උත්සාහය ද ඇගේ ඇගයීමට ලක්විය.

    ප්‍රධාන දේශනය පැවැත්වූ අමාත්‍ය හේරත් මහතා, ශ්‍රී ලංකාව සහ අරාබි කලාපය අතර පවතින ඓතිහාසික සබඳතාව සිහිපත් කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික හවුල්කරුවෙකු ලෙස හඳුන්වා දුන්නේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පුළුල් ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමකට (CEPA) එළඹීමේ ඇති අත්‍යවශ්‍යතාව අවධාරණය කළ අමාත්‍යවරයා, එමඟින් වෙළඳ, ආයෝජන සහ ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව නව මානයකට ගෙන යා හැකි බවත්, ගල්ෆ් කලාපීය ආයෝජන සඳහා විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සැමවිටම විවෘතව සහ සූදානමින් සිටින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

    දෙරට අතර සබඳතාව ප්‍රායෝගිකව සාක්ෂාත් කරගත හැකි ප්‍රධානතම මාර්ගය පෙන්වා දෙමින් අමාත්‍යවරයා මෙසේ ද සඳහන් කළේය: "විශේෂ නීතිමය රාමුවක් සහ අතිශය ආකර්ෂණීය සහන සහිත විශේෂ ආර්ථික කලාපයක් වන කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකාවේ ආර්ථික ඉලක්ක සැබෑ කරවන ප්‍රධාන මධ්‍යස්ථානයයි. ගල්ෆ් කලාපයේ පවතින ශක්තීන් සමඟ සම්බන්ධ වෙමින් දකුණු ආසියානු වෙළඳපොළට ප්‍රවේශ වීමට අපේක්ෂා කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ජාත්‍යන්තර මට්ටමේ නූතන වේදිකාවක් මේ හරහා හිමිවේ."

    ගෞරවනීය අමුත්තා ලෙස අදහස් දැක්වූ අතිගරු ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම අවධාරණය කළේය. "නැඟී එන ආර්ථිකයන් තුළ ගුණාත්මක දිගුකාලීන ආයෝජන සොයන අපගේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවෙන් හොඳ අවස්ථා හිමිවෙනවා. ක්ෂණික නැවත ගොඩනැඟීමේ අවශ්‍යතා මෙන්ම සැපයුම් ජාල, තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ඇති විශාල නැඹුරුව නිසා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ඉතාමත් ආකර්ෂණීය ස්ථානයක්," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කොළඹ වරාය නගරය ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස එක්වීමෙන් ගල්ෆ් (GCC) කලාපය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයෝජන දොරටුව එය බව තහවුරු විය. මෙහිදී මෙම විශේෂ ආර්ථික කලාපයේ ඇති නියාමන රාමුව සහ ආයෝජන වටිනාකම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කරමින් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙසේ පැවසීය. "කොළඹ වරාය නගරය යනු හුදෙක් සංවර්ධන ව්‍යාපෘතියක් පමණක් නෙමෙයි. එය ජාත්‍යන්තර ආයෝජන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දොරටුව වන අතර, ගල්ෆ් කලාපය සහ දකුණු ආසියාව යා කරන උපායමාර්ගික පාලමක්. ගල්ෆ් ආයෝජකයන් විවිධාංගීකරණය වූ, නම්‍යශීලී සහ ගෝලීය වශයෙන් සම්බන්ධ වූ වර්ධන වේදිකාවන් සොයන මෙවැනි කාලයක, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු නියාමන රාමුවක්, විශ්වාසනීය සහ අපක්ෂපාතී ව්‍යාපාරික පරිසරයක් මෙන්ම ලොව වේගයෙන්ම වර්ධනය වන කලාපයකට සෘජුවම ප්‍රවේශ වීමේ අවස්ථාව කොළඹ වරාය නගරය මඟින් හිමිවෙනවා." ගල්ෆ් කලාපීය ව්‍යාපාර සඳහා කොළඹ වරාය නගරය ඔවුන්ගේ කලාපීය මෙහෙයුම්වල අතිරේක ව්‍යාප්තියක් ලෙස ක්‍රියා කරන බවත්, එමඟින් මැදපෙරදිග සහ දකුණු ආසියාව අතර ප්‍රාග්ධනය, ව්‍යාපාර, දක්ෂතාවන් සහ නවෝත්පාදනයන් සුමට ලෙස හුවමාරු කර ගැනීමට මඟ පාදනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා මෙහිදී අදහස් දක්වමින්, වරාය නගරයේ වත්මන් ප්‍රගතිය පැහැදිලි කළේය. ඒ අනුව මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2 කට අධික ආයෝජන තහවුරු කරගෙන ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ එය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා යාමට ඉලක්ක කර ඇත. දකුණු ආසියාව තුළ තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට, ස්ථාපිත කිරීමට හෝ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාපාර සඳහා කොළඹ වරාය නගරය තුළ ඇති අවස්ථාවන් ද ඔහු පෙන්වා දුන්නේය. දේපළ වෙළඳාම්, මූල්‍ය සේවා, කලාපීය මූලස්ථාන පිහිටුවීම සහ ව්‍යාපාරික මෙහෙයුම් පවත්වාගෙන යාම යන ක්ෂේත්‍ර ඒ අතර ප්‍රධාන වේ.

    අවසාන වශයෙන් අදහස් දැක්වූ ඩුබායි සහ උතුරු එමිරේට්ස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් අතිගරු ඇලෙක්සි ගුණසේකර මහතා, ව්‍යාපාර, වෙළඳ සහ සංචාරක ක්ෂේත්‍රවල ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ආයෝජකයන් පිළිගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සක්‍රීයව එක්වන ලෙසත්, අපේක්ෂිත සීමාවන්ගෙන් ඔබ්බට ගිය සාර්ථක අනාගතයක් වෙනුවෙන් ආයෝජනය කරන ලෙසත් ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, CHEC Port City Colombo (Pvt) Ltd සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Umm Al Quwain Free Trade Zone Authority අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි. Umm Al Quwain නිදහස් වෙළඳ කලාප අධිකාරිය වෙනුවෙන් එහි ජෙනරාල් කළමනාකාර ජොන්සන් මොඩයිල් ජෝර්ජ් මහතා අත්සන් තැබූ අතර, කොළඹ වරාය නගරය වෙනුවෙන් කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රෙවාන් වික්‍රමසූරිය සහ CHEC Port City Colombo හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ යන මහත්වරු අත්සන් කළහ.

    කොළඹ වරාය නගරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිදහස් වෙළඳ කලාප අධිකාරියක් අතර එළඹි පළමු නිල ගිවිසුම මෙය වන අතර, එමඟින් එමීර් රාජ්‍යයේ ව්‍යාපාරවලට දකුණු ආසියානු වෙළඳපොළට පිවිසීමටත්, වරාය නගරයේ ව්‍යාපාරවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිදහස් වෙළඳ කලාප ජාලය හා සම්බන්ධ වීමටත් මඟ පෑදේ.

    ශ්‍රී ලංකාවේ සංචාරක, වෙළඳ සහ ආයෝජන අවස්ථාවන් ජාත්‍යන්තරයට විවර කරදීම වෙනුවෙන් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය සංවිධානය කළ ‘Sri Lanka Beyond Your Dreams’ උළෙල, දෙරටේම ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට අදහස් හුවමාරු කරගැනීමට මඟ පෑදූ වැදගත් හමුවක් විය. එමඟින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඉදිරි ආර්ථික වර්ධනයට මෙන්ම ශක්තිමත් සහයෝගීතාවට ද මඟ පෑදිණි.

       

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ මහත්මිය

    ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ අමාත්‍ය අතිගරු ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා

    ඩුබායි සහ උතුරු එමීර් රාජ්‍යයන් හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් අතිගරු ඇලෙක්සි ගුණසේකර මහතා

    CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා

    මෙම උත්සවයේ පැවති විද්වත් සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙළඳ සහ ආයෝජන ආයතනවල ප්‍රධානීන් එක්වූ අයුරු. (වමේ සිට) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ ජෙනරාල් සෝමසේන මහදියුල්වැව, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව යන මහත්වරුන්.

    කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, CHEC Port City Colombo (Pvt) Ltd සහ Umm Al Quwain Free Trade Zone Authority අතර ආයෝජන ප්‍රවර්ධන ගිවිසුමට අත්සන් තැබූ මොහොත. (වමේ සිට) කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රෙවාන් වික්‍රමසූරිය, Umm Al Quwain Free Trade Zone Authority හි ජෙනරාල් කළමනාකාර ජොන්සන් මොඩයිල් ජෝර්ජ් සහ CHEC Port City Colombo (Pvt) Ltd හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන්..