ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංක්‍රාන්තිය සහ රාජ්‍ය අංශයේ පද්ධතිමය නවීකරණය පිළිබඳ ලෝක බැංකු සමූහය සමඟ සාකච්ඡාවක්

    September, 18, 2026

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ රාජ්‍ය අංශයේ තාක්ෂණික සංවර්ධන ප්‍රමුඛතාවන් පිළිබඳව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ ලෝක බැංකු සමූහයේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී, ජ්‍යේෂ්ඨ උප සභාපතිනී ඇමී ඩොහර්ටි මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ දී පැවැත්විණි.

    මෙහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සංවර්ධනය, රාජ්‍ය අංශය නවීකරණය කිරීම, ඒකාබද්ධ රාජ්‍ය සන්නිවේදන පද්ධති ස්ථාපනය සහ දේශීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා නවෝත්පාදන පරිසර පද්ධතිය බලගන්වන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය.

    විශේෂයෙන්ම රාජ්‍ය ආයතන තුළ ඩිජිටල් තාක්ෂණයන් ප්‍රවේශමෙන් වැලඳගැනීම උදෙසා යෝජිත "ඩිජිටල් සංක්රාන්ති ඒකක" සහ "රාජ්‍ය බලපෑම් නායකයින්ගේ ජාලය" (Public Impact Champions Network - PIC-Net) හරහා රාජ්‍ය නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා සහ නායකත්වය වර්ධනය කිරීමේ වැදගත්කම මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

    තවද, කෘත්‍රිම බුද්ධිය සහ නැගී එන තාක්ෂණයන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයන් වෙත වගකීම්සහගත ලෙස භාවිතයට ගැනීම, සයිබර් ආරක්ෂණ සූදානම මෙන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ සයිබර් ආරක්ෂණ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමු විය.

    ලෝක බැංකු සමූහයේ ආයතනික තාක්ෂණික යටිතල පහසුකම් නවීකරණය, ඇජයිල් (Agile) පද්ධති ප්‍රවේශයන් සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ ප්‍රමුඛ ගෝලීය අත්දැකීම් සහිත ඇමී ඩොහර්ටි මහත්මිය, TRACE City පරිශ්‍රයේදී තරුණ ව්‍යවසායකයින් සහ පෞද්ගලික අංශයේ තාක්ෂණික ව්‍යවසායකයින් හමුවීමෙන් ලැබූ නිරීක්ෂණ ද මෙහිදී අදහස් හුවමාරු කරගත්තාය.

    මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, GovTech ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙවාන් ගුණතිලක මහතා ඇතුළු ලෝක බැංකු සමූහය නියෝජනය කරමින් නියෝජිත පිරිසක් සහභාගී වූහ.